බැඳුම්කර වාර්තා විවාදය සහ මහාපරිමාණ දූෂණ, වංචා වාර්තා විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තුව පෙබරවාරි 08 වැනිදා කැඳවීමට යෑමෙන් මැතිවරණ කොමිෂන් සභාව "ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී" තත්ත්වයට පත්ව ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
උත්තරීතර පාර්ලිමේන්තුව පෙබරවාරි 08 වැනිදා කැඳවුවහොත් එය වළක්වන ලෙස නියෝග කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු හැකියාවක් නොමැති බවත්, පෙබරවාරි 08 වැනිදා සහ 09 වැනිදා නිහඬ කාලසීමා වීම එකම ගැටලුව වී ඇති බවත් දේශප්‍රිය මහතා සඳහන් කළේ ඊයේ(28දා) රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
බරපතළ දූෂණ, වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව 08 වැනිදාට පෙර විවාද කර අවසන් කිරීමට හැකියාවක් ඇත්නම් එයට එකඟ වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව ඇතිබවද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ඊට ප්‍රථම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා රැස්ව මේ පිළිබඳ සාකච්ඡාකර එකඟතාවකට පැමිණීමට නියමිත බවද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
කෙසේහෝ ජනතාවට දේශපාලඥයන්ට, මාධ්‍යයට ඇතුළු කිසිවෙකුට අගතියක් නොවන අයුරින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බවද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ජනතාව දීර්ඝ කාලයක් පුරාවට අපේක්ෂාවෙන් සිටින මෙම මැතිවරණය පැවැත්වීම බාධා ඇතිවන අයුරින් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසද පෙබරවාරි 15 වැනිදා වනතුරු වෘත්තීය ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙසද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටි අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පවසා සිටියේය.
2013 මාර්තු මාසයේ සිට වසර පහක් මේ ඡන්දය පරක්කුවෙලා තිබෙනවා. පුදුකුඩුඉරුප්පු සහ මෙරිටයින්වල පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වරට පවත්වලා තිබෙන්නේ 1969 සහ 1970 දී. මේ ඡන්දය තවත් කල්දාන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ මැතිවරණ දවසක් හෝ කල්දාන්න මැතිවරණ කොමිෂන් සභාව කැමැති නැහැ. නියමිත දිනයේම මැතිවරණය පවත්වන්න සියලු ක්‍රියාමාර්ග මැතිවරණ කොමිසම ගන්න නිසා තමයි මේ ඉල්ලීම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ.
08 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ. පාර්ලිමේන්තුවට ඉහළින් එය එපාය කියා නියෝගයක් දෙන්න අපට බැහැ. කොමිෂන් සභාවේ මතය කියන්න අපි තිදෙනාම රැස්විය යුතුයි. මෙම විවාද පැවැත්වීම හෝ පාර්ලිමේන්තු කැඳවීම මැතිවරණ කොමිසමට කිසිසේත්ම අදාළ නැහැ. එහි ඇති එකම අදාළභාවය 08 සහ 09 දෙදින නිහඬ කාලසීමාවට වැටීම පමණයි.
එය සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද? මෙය "ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී" වගේ වැඩක්. මේක එපා කියලත් බැහැ කරන්න කියලත් නැහැ. කිසිම කොමිෂන් සභාවක් මේ වගේ ගැටලුවකට මුහුණදීලා නැතිව ඇති. කේක් කනවද, චීස් කනවද කියලා බෙල්ල කපාගන්න බැහැ. කොමිෂන් සභාව වාඩිවෙලා තීරණයක් ගතයුතුයි. දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කළයුතුව තිබෙනවා. කොහොම වුණත් ඡන්දය පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙයි කියලා අපට විශ්වාසයක් තිබෙනවා.
ඡන්දය පැවැත්වීමට නොහැකි සිදුවීමක් වුවහොත් ඡන්ද විමසීම සති තුනකට කල්දැමිය යුතුයි. පෙබරවාරි 10වැනිදා ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැඩිලෙස පෙනී සිටිනවා. යම්යම් වෘත්තීය සංගම්, ක්‍රියාකාරීන් වෙන කිසිම කලක නැති ආකාරයට ඉල්ලීම් දිනාගැනීමට ඡන්ද පෙරට ගෙන තිබෙනවා. ඡන්දය පැවැත්වීමට රාජ්‍ය නිලධාරීන් ඍජුම දායකවෙනවා. මේ ඡන්දය පැවැත්වෙන තුරු ජනතාව දීර්ඝ කාලයක් බලා සිටියා. මම මේ වෘත්තීය සමිතිවලින් සහ එම ක්රියාදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඡන්දවිමසීම වැළැක්වීමට බාධාවන කිසිදු කාර්යයවල නිරත නොවන ලෙස හා පෙබරවාරි 15 වැනිදා වන තෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටින්න කියායි. මේ ගැන අපි දේශපාලඥයන්ගෙනුත් ඉල්ලා සිටියා.*
හැකිනම් බැඳුම්කර විවාදය සහ මහා පරිමාණ දූෂණ, වංචා විවාදය පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකයන්ට අභියෝග කළේය.
පසුව බැඳුම්කර විවාදය සහ මහාපරිමාණ දූෂණ, වංචා විවාදය පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීම්කර තිබිණි.
එම ඉල්ලීම කථානායකවරයා අගමැතිවරයාට යොමුකර ඇති අතර, ඒ අනුව පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා(27දා) ප්‍රකාශ කළේය.