නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව 2008 වසරේ ජූලි මාසයේ සිට 2011 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ උසස්වීම් ලැබූ ගුරුවරුන් ලක්ෂ 02කට ලැබිය යුතු හිඟ වැටුප් ලබානොදීමට එරෙහිව අද (23දා) අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.
නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව 2008/07/01 දින සිට 2011/01/01 දක්වා ලක්ෂ 02කට ගුරුවරුන්ට උසස්වීම් හිමි වී තිබුණද එම උසස්වීමට අදාළව කිසිදු මුදලක් ලබානොදෙන බවත්, එහෙත් ගුරුවරුන්ට එම කාලයට විශාල මුදලක් හිමිව තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව හිඟ වැටුප් ලබාදෙන්නේ 2011/01/01 දිනයෙන් පසුව බවට නියෝගයක් කර තිබීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, එහි සම්පූර්ණ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය බාරගත යුතු බවත් ඔහු පවසා සිටියේය.
යම් ලෙසකින් අධ්‍යාපන අමාත්‍යාංශය නියමිත කාලයේදී උසස්වීම් ලබාදුන්නා නම් එදින සිට ගුරුවරුන්ට අදාළ උසස්වීමට අනුව වැටුප් ලැබෙන බවත්, එහෙත් එම කටයුත්ත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුනොකළ බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
මේ නිසා නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ලැබුණු උසස්වීම්වලට අදාළව නියමිත මුදල උසස් වීම් ලැබුණු දින සිට ලබාදීම අමාත්‍යාංශයේ කාර්යභාරයක් බවත්, මේ නිසා ගුරුවරුන් ලක්ෂ 02කට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.