දේශපාලන හිතවතුන් ගුරුසේවයට ඇතුළත් කිරීම සඳහා ගුරුසේවයට බඳවාගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම 'අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය සමත්' යන්න දක්වා පහළ දමා ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
ක්‍රීඩා ගුරු ලේබලය යටතේ සාමාන්‍ය පෙළ පමණක් සමත් 3000ක් ගුරුසේවයට බඳවාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් සකස් කරමින් සිටින බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
1994 වසරේ ඇති කළ ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බඳවාගැනීමේ අවම සුදුසුකම උසස්පෙළ විභාගය සමත් වීම බවත්, මෙවැනි සුදුසුකමක් තීරණය කර තිබෙන්නේ ගුරුසේවයේ ගුණාත්මකභාවය රැකගැනීමට බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනයේ ඉහළ පුටුවලට සුදුසුකම් නොමැති දේශපාලන හිතවතුන් පත් කරනවා සේම ගුරුසේවයටද සුදුසුකම් නොමැති දේශපාලන හිතවතුන් බඳවාගනිමින් සිටින බව ලේකම්වරයා කියා සිටියේය. මේ නිසා ඉදිරියේදී ගුරු සේවයේ ප්‍රමිතිය නැත්තට නැති වී යන බවද හෙතෙම කියා සිටියේය.