ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත් නොකර,වැටුපට ලබාදෙන දීමනාව දිගින් දිගටම මූලික වැටුපට එකතු කිරීම නිසා උග්‍ර වැටුප් විෂමතාවක් මේ වනවිට ඇතිවී තිබෙන බව විදුහල්පති ගුරු සංගම් එකමුතුව සඳහන් කරයි.
3/2016 වැටුප් චක්‍ර‘ලේඛයට අනුව රාජ්‍ය සේවකයන්ට ලබාදුන් දීමනා 2020 වනවිට කොටස් වශයෙන් එකතු කිරීමට යෑමේදී ගුරු විදුහල්පතිවරුන්ට දරාගත නොහැකි ලෙස වැටුප් විෂමතා ඇති වී තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු ඊ.එම්.ජේ.එස්. ද සේරම් මහතා සඳහන් කළේය.
ගුරු විදුහල්පතිවරුන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට 2008 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය පවා උපදෙස් ලබාදී තිබෙන බවත්, එහෙත් මෙතෙක් එම කටයුත්ත සිදු කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා විශ්‍රාම ගන්නා ගුරු විදුහල්පතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත්, ඔවුන්ට සිදුව තිබෙන වැටුප් විෂමතාව කිසිදානොවිසඳෙන බවත් කැඳවුම්කරු කියා සිටියේය.
මේ නිසා ගුරුවරුන් දෙලක්ෂ තිස්හත් දහසකට අධික ප්‍රමාණයකට ඇතිව තිබෙන වැටුප් විෂමතා ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්නැයි අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එසේ නොමැති වුවහොත් දීමනාව වැටුපට එකතු වී අවසන් වනවිට ගුරු විදුහල්පති සේවය තුළ දැඩි අර්බුදයක් ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටියේය.