ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක සේවාවක් ලබාදීම සඳහා මින් ඉදිරියට ඒ එක(A1) හා සහ ඒ දෙක(A2) ශ්‍රේණියේ පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පමණක් පත්කරන බව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කළේය.
මීට අමතරව පොලිස් සැරයන් තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් සිදුකිරීමේදී උසස්වීම් ලබනා තනතුරේ රාජකාරිය පිළිබඳව මාස 06ක පුහුණුවක් ලබාදෙන බවත්, පොලිස් නිලධාරීන්ට උපාධි සහ ශාස්ත්‍රපති උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාදෙන බවත් පවසා සිටියේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ 48 දෙනෙකුට සිය තනතුරට අදාළ රාජකාරි පිළිබඳව පුහුණු සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට සහභාගීවෙමින් පොලිස්පතිවරයා අද (04දා) මේ බව සඳහන් කළේය.
මීට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති උසස්වීම් හා බඳවාගැනීම් ක්‍රමවේදය මේ වනවිට සකස් කර තිබෙන අතර එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
ලෝකයා ඉතාමත් ඉක්මණින් වෙනස් වන බැවින් සිදුවන තාක්ෂණික වෙනස්කම් හා මහජන සම්බන්ධතා පිළිබඳ නිරතුරුවම පොලිස් නිලධාරීන් දැනුවත් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත් ගෙවී ගිය කාලයේදී ශ්‍රී ලංකාව තුළ පැවති 30 අවුරුදු යුද්ධය නිසා ශ්‍රී ලංකා පොලීසියට රටේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදුකිරීමට සිදුවූ බැවින් වෙනස්වන ලෝකයට අනුව දැනුම ලබාගැනීමට තිබූ අවස්ථා අහිමි වූ බවද ඒ මහතා පවසා සිටියේය.
.jpg)