ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට හෙට (27දා) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීමට කටයුතු කළහොත් හෙට සිට මහ පාරේ සටන් ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
ග්ලයිෆොසෙට් තහනම් කරගෙන ගෙවී ගිය වසර තුන තුළදී මේ රටේ පොළොවත්, මහජනතාවත්, පරිසරයත් සුවපත් වූ බවත්, එහෙත් සංවිධානාත්මක අපරාධ කල්ලියක් සේ රටේ ජනතාව මරණයට පත්කිරීමට උත්සාහ කරන ටයිකෝට් දාගත්, මහාචාර්ය උපාධි දාගත් අය ග්ලයිෆෙසෙට් වල් නාශකය අනතුරුදායක නොමැති බවට පවසන බවද උන්වහන්සේ පවසා සිටියහ.
මීට අමතරව වැවිලි ඇමති හා කෘෂිකර්ම ඇමති තහනම ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඔවුන්ට එවැනි දේවල් සිදුකළ නොහැකි බවත් උන්වහන්සේ පවසා සිටියහ. මේ නිසා කැබිනට් පත්‍රිකාව අනුමත කළහොත් එය පරාජයට පත්කිරීමට හෙට සිට මහ පාරට බසින බවද රතන හිමියෝ කියා සිටියහ.