පසුගිය සමයේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කටයුතු කළ බස්නාහිර පළාත් කෘෂිකර්ම හා කර්මාන්ත අමාත්‍යාංශය ලබාගැනීමට පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙන බැවින් මහ මැතිවරණය පවත්වනතුරු එම තනතුරට කිසිවෙකු නම් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුං‘ග මහතාට දන්වා තිබේ.
පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි, ඉසුර දේවප්‍රිය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මන්ත්‍රීවරුන්ගෙන් මෙම ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ප්‍රසන්න රණතුංග මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර, මහ ඇමතිවරයා දැනටමත් එම අමාත්‍යාංශයේ වැඩ බලන බැවින් මහ මැතිවරණය පැවැත්වෙන තෙක් එම ධුරයේ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් %අද^ කළ විමසීමකට පිළිතුරු දුන් සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සුළු පක්ෂයකට පිරිනැමිය යුතු අමාත්‍යාංශය මෙය වන බැවින් ගැටුමක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කිසිවෙකුට අමාත්‍යාංශය ලබානොදීමට තීරණයක් ගෙන ඇතැයි ප්‍රධාන අමාත්‍යවරයා තමාට දැන්වූ බවයි.
ආණ්ඩු පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අමාත්‍යාංශයක් බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඉසුර දේවප්‍රිය මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එම අමාත්‍ය ධුරය ලැබීමට සිටින එකම සුදුස්සා තමන් බවයි. ඒ සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අත්සන් සහිත ලිපියක් බාරදෙන බව තමාට දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා පවසා සිටියේය.