ගිරිබාව, බතලවැව ප්රදේශයේදී ගංජා ජාවාරමේ යෙදුණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පැමිණි අවස්ථාවේදී සැකකරු හා ඔහුගේ පියා විසින් පොලිස් නිලධාරීන්ට අතින් පයින් හා පොලුවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි.
අද (20දා) සවස මෙම සිදුවීම සිදුව ඇති අතර පසුව පොලීසිය සැකකරුට වෙඩි තබා ඇත. එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට වෙඩි වැදී අතර තුවාල ලත් සැකකරු ගල්ගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
පහර කෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක්ද ගල්ගමුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කරන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.