කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ රැගෙන යන ස්ථාන පිළිබඳ තොරතුරු පිටතට ලබානොදෙන ලෙසට කොළඹ මහනගර සභාවට ඉහළින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ.
කොළඹ නගරයේ දිනකට එක්රැස් වන කසළ ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 350 ක් පමණක් කරදියාන කසළ අංගණයට ගෙනයෑමට අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණද, එය තාවකාලික තීන්දුවක් වන අතර, ඉතිරි කසළවලට කුමක් කරන්නේදැයි නගර සභාව පැහැදිලි පිළිතුරක් ලබා නොදෙයි.
මේ සම්බන්ධව විවිධ පාර්ශ්ව තොරතුරු විමසන බැවින් තමන්ගේ ජංගම දුරකථනවලට පැමිණෙන ඇමතුම්වලට පිළිතුරු නොදෙන ලෙසටද නගර සභාවේ නිලධාරීන්ට දන්වා ඇතැයි නගර සභා ආරංචි මාර්ග පවසයි.
නගර සභාවේ කසළ කළමනාකරණ අංශයේ නිලධාරීන්ට මේ පිළිබඳ දැඩිව අවවාද කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මේ දිනවල කොළඹ නගරයේ එක්රැස් වන කසළවලින් කොටසක් ජාඇල ප්‍රදේශයට ගෙන බවටත්, තවත් කසළ කොටසක් නගර සභාවේ ඩිපෝවල රඳවා තිබෙන බවටත් ආරංචි පැතිර යමින් තිබේ.
කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ (18දා) පැවැති සාකච්ඡාවකට සහභාගි වී තිබුණු අතර, ඒ පිළිබඳ විමසීමට ඔහු සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඒ මහතා දුරකථනයට පිළිතුරු දීමට පැමිණියේ නැත.
මේ පිළිබඳ කළ විමසීමකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ දින කිහිපයකට පමණක් කරදියානට කසළ බැහැර කිරීමට අවස්ථාව ලබාදෙන බවයි. ඉන්පසුව එම ස්ථානයට කොළඹ කසළ රැගෙන යෑමට ඉඩ නොදෙන බවද මහ ඇමතිවරයා කීවේය.
කරදියාන කසළ අංගණය ආශ්රිත ප්රතිචක්රිකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.