කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැළිකසළ දින තුනක් ඇතුළත ඉවත් නොකරන්නේ නම් මහ ඇමැති ධුරයෙන් ඉවත් කරන බවට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා බස්නාහිර මහඇමැති දේවප්රිය මහතා පෙරේදා (17) උදෑසන ජනාධිපති නිල නිවසට කැඳවා මේ බව දැනුම්දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ නගරයේ හා තදාසන්න නගරවල කුණු ගොඩගැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහ ඇමැතිවරයාට තදින් දොස් පවරා ඇතැයිද වාර්තා වේ.
ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පැවැති හදිසි රැස්වීමේදීත් ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්රකාශ කර ඇති අතර, එම සාකච්ඡාවට මහ ඇමැතිවරයා සහභාගි නොවූ බව ද දැනගැනීමට ඇත.
මේ අතර කොළඹ නගර සභාවේ කුණු ඉවත් කිරීමේ ටෙන්ඩරය නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට බාරදිය යුතු වුවත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එක්වරම ලබාදී ඇතැයිද ආරංචි මාර්ග පවසයි.
වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200කට එම ටෙන්ඩරය ලබාදී ඇති බවද වාර්තා වේ.
අජන්ත කුමාර අගලකඩ