මානුෂීය මෙහෙයුමේ අවසන් සටන සිදු වූ දින (2009 මැයි 18දා) උපත ලද 'දිනූදා' අලි පැටවා ඇතුළු අලි පැටවුන් දෙදෙනෙකු දකුණු කොරියාවට යැවීමට සූදානම් කර ඇති බවට මාධ්‍ය මගින් කරුණු හෙළිකිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වහාම එම කටයුත්ත අත්හිටුවීමට ඊයේ (12දා) පියවර ගත්තේය.
මෙම අලින් දෙදෙනා කොරියාවට යැවීම අත්හිටුවීමේ පුවත් සැලවීමෙන් පසු මෙම අලි යැවීම පිළිබඳව සම්බන්ධ වූ කොරියානු ජාතිකයන් ඊයේ (12 දා) සත්ත්වෝද්‍යානයට පැමිණ අලි ඉල්ලා යකා නැටූ බවද වාර්තා වේ.
දකුණු කොරියාවට යැවීමට සූදානම් කර තිබූ 'දිනුදා' සහ 'උදාර' අලි පැටවුන් දෙදෙනා වයස අවුරුදු 05 ට වඩා අඩු වූවන් බවට හෙළි වී ඇති අතර, මෙම අලි පැටවුන් කොරියාවට යැවීමට තීන්දු වී ඇත්තේ 2009 වසරේදී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද උල්ලංඝනය කරමින් වීම විශේෂත්වයකි.
මෙම අලිපැටවුන් දෙදෙනා දකුණු කොරියාවට යැවීම රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් නොවන බවද වාර්තා වේ. දකුණු කොරියාවේ 'එවර්ලෑන්ඩ් ග්‍රීන් පාර්ක්' නැමැති පෞද්ගලික සත්ත්වෝද්‍යානයට මෙම පැටවුන් දෙදෙනා ප්‍රදානයක් ලෙස ලබාදීමට බලධාරීන් මුලින් සැලසුම් කර තිබිණි.
අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් දකුණු කොරියාවේ සංචාරයකද නිරත වූ අතර, එහිදී මෙම සතුන්වත්තට අදාළ නිලධාරීන් හමු වී තිබේ. අලි පැටවුන් දෙදෙනා කොරියාවට යැවීම සඳහා සත්ත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත්තේ අමාත්‍යවරයාගේ නියමයෙන් බවද වාර්තා වේ.
අලි පැටවෙකු රටින් පිට කිරීමේදී ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බවට සම්ප්රදායක් පැවතියද, මෙම පැටවුන් කොරියාවට යැවීම පිළිබඳව මාධ්‍ය මගින් හෙළිකරන තෙක් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගෙන නොතිබිණි.
කෙසේ වෙතත් මෙම අලි පැටවුන් වෙනුවෙන් මාධ්‍ය මගින් මීට පෙර කළ හෙළිදරව්වක් නිසා සත්ත්ව හුවමාරු පදනම යටතේ සිංහ පැටවෙකු හා ව්යාඝ්ර පැටවෙකු ශ්‍රී ලංකාවට ගෙන්වීමට අදාළ පෞද්ගලික සත්ත්වෝද්‍යානය හා ජාතික සත්වෝද්‍යානය එකඟ වී තිබේ.
පෙරේදා දිනයේදී අදාළ සතුන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.
අත යට ගනුදෙනුවක් නෑ-
උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත්
කොරියාවට යැවීමට සූදානම් කළ අලි පැටවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අවුරුදු පහට අඩු අලි පැටවුන් රට යැවීම තහනම් බව තමන් නොදන්නා බව මේ සිදුවීම සම්බන්ධයෙන් උද්භිද උද්‍යාන හා පොදු විනේදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගෙන් 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය කිසිසේත්ම 'අත යට ගනුදෙනුවක්' නොවන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙය සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ බරපතළ වරදක් බවයි.
"අවුරුදු පහට අඩු සතුන් රට යවන්න බෑ කියල මම දන්නෙ නෑ. මෙතන එක සතෙක් අවුරුදු පහට වඩා අඩුයි. මෙය අමාත්‍යාංශය දැනුවත්ව කරපු වැඩක් නෙවෙයි, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්නතුව කරපු වැරැද්දක්. මෙතන කිසිම වැරදි ගනුදෙනුවක් නැහැ." යැයි අමාත්‍යවරයා පැවැසීය.