ඒකාබද්ධ විපකෂ විසින් පවත්වනු ලබන මැයි රැලියට සහභාගි නොවී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනම මැයි දින රැලියක් පවත්වනුයේ ආණ්ඩුවට කඩේ යෑමේ අදහසින් නොවන බව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අද (11දා) පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
''අපි මැයි දින රැලියක් වෙනම පැවැත්වීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ සමගිය බිඳිලා නැහැ. මෙකෙන් ආණ්ඩුව ශක්තිමත් වෙනවා කියලා සමහරු අර්ථකථන දෙනවා. නමුත් ඒකාබද්ධ විපක්ෂය සමග එකඟවිය හැකි කරුණුවලදී අපි මිදෙන්න්නෑ. ඒක අපේ දේශපාලන කරුණක්. කම්කරු පන්තියේ පක්ෂයක් වශයෙන් අපේ අන්‍යතාව තහවුරු කරගනිමින් ක්‍රියාකරනවා. මේක කාටවත් කඩේ යෑමක් නෙවෙයි.
කාගේවත් දේශපාලන උවමනාවන් ඉස්සරහට ගෙනයින එකක් නොවයි. ඒක අපේ දේශපාලන අන්‍යතාවය. ඒකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් ඒ අර්ථකථන දිහා බලන්න ඕන ප්‍රායෝගිකව. ඒකාබද්ධ විපක්ෂය බිඳිලා කියලා උපකල්පන හදාගන්න එක කාටවත් වළක්වන්නත් බැහැ." යනුවෙන් පවසා සිටියේය.