රජයේ කොන්ත්‍රාත්කරුවන්, දේශපාලනඥයන්ට කප්පම් ගෙවීමේ යුගය අවසන් බවත්, කොළඹ අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුව 100% කින් විසඳන බවත් බස්නාහිර මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
දෙමටගොඩ ආරාමය පෙදෙසේ රුපියල් මිලියන 1,748ක ආයෝජනයකින් ඉදි වූ නිවාස 437කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට අද (10දා)සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“මහා පරිමාණයේ ගොඩනැගිලි ඉදිකරන කොන්ත්‍රාත්කරුවෝ මේ අතින් චෙක්පත අරගෙන අනෙක් පැත්තෙන් දේශපාලකයන්ගේ හිතවතුන්ගේ ගිණුම්වලට කොටස් බැර කරන යුගයක් මේ රටේ තිබුණා. සල්ලි ගෝනි පිටින් ගෙනිහිල්ලා මන්දිරවලට බාපු යුගයක් මේ රටේ තිබුණා. රජයේ කොන්ත්‍රාත් කරනවා නම් කප්පම ගෙවීම අනිවාර්යය වී තිබුණා. අද ඒ කොන්ත්‍රාත් කරුවෝ සියල්ලම දේශපාලකයන්ගේ මන්දිරවලට නෙමෙයි මේ දරුවන්ගේ අධ්‍යාපනය ක්‍රීඩා කුසලතාවය, සංස්කෘතිය නංවාළීම සඳහා ඒ අරමුදලට දායක වී තිබෙන්නේ.” යැයි පැවසීය.