කිසිදු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකර මීට මාස අටකට පෙර රුපියල් එක්කෝටි විසි ලක්ෂ අසූ හතර දහසක් වියදම් කර කොටුව දුම්රිය ස්ථානයේ සවි කළ දුම්රිය කාලසටහන් දැක්වෙන ඩිජිටල් පුවරුව මේ වනවිට ක්‍රියා විරහිත වී තිබෙන බව සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.
කොළඹ, නවම් මාවතේ පිහිටි ස්ටේට් ට්‍රේඩිං කෝපරේෂන් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය විසින් මෙම පුවරුව සවිකර තිබෙන්නේ 12,084,000/-ක මුදලකට බවත් මීට සතියකට පෙර සිට මෙම පුවරුව ක්‍රියාවිරහිත වී තිබුණත්, මෙතෙක් එම පුවරුව සකස් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බැවින් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණෙන දස දහස් ගණනක් පීඩාවට පත්ව තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
මිලදී ගැනීම ක්‍රමවේදයක් භාවිත නොකර මිලදී ගෙන තිබෙනා මෙම පුවරුව සඳහා වියදම් වී ඇති මුදල්වලින් අති විශාල මුදලක් කොමිස් ලෙස ලබාගෙන තිබෙන බවට වාර්තා වන බවත්, මේ නිසා මේ පිළිබඳව ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරීවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා පරීක්ෂණයක් ආරම්භ කළයුතු බවද පවසා සිටියේය.
මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවත්, ඉදිරියේදී මේ පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කරන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ඩිජිටල් පුවරුව සවිකිරීමත් සමග එතෙක් දුම්රිය මගීන්ට දුම්රිය කාලසටහන් ප්‍රදර්ශනය කළ ස්ථිර පුවරුව ඉවත් කළ බැවින්, නැවත ඩිජිටල් පුවරුව සකස් කරන තෙක් මගී ජනතාවට දුම්රිය කාල හෝරාවන් පිළිබඳව දැනුම්වත් වීමට ස්ථිර කාලසටහනක් ප්‍රදර්ශනය කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.