කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට හා එහි ස්ථාපිත කොට තිබූ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ ගුවන් බස් 06 ක් හා ප්‍රහාරක ගුවන් යානා 06 ක් විනාශ කොට රුපියල් කෝටි 5,505 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් කොටි සාමාජිකයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට කොළඹ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය අවසර දුන්නාය.
විත්තිකරු මෙම සිද්ධියට අදාළ සිදුවීම්වලදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්, අත්බෝම්බ 04 ක් හා පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාවලට වරද පිළිගැනීම නිසා මේ වනවිටත් සිර දඬුවම් විඳිමින් සිටින හෙයින් මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අදහස් කරන බව කියමින් නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් කොමසාරිස්වරිය මේ දක්වා අත්අඩංගුවට පත් නොවී සැඟව සිටින මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.
රත්නසිංහම් පුෂ්පකුමාරන් හෙවත් නිර්මල රංජන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී තිබිණි.
2000 සහ 2001 වසරවලදී ජූලි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිලිනොච්චිය, කොළඹ, කටුනායක, මීගමුව ඇතුළු ප්‍රදේශවලදී කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ භූමියේ ස්ථාපිත කොට තිබූ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව 2001 ජූලි මස 24 වැනිදා දිනයක කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට හා එහි ස්ථාපිත කොට තිබූ ගුවන් හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ ගුවන් බස් 06 ක් හා ප්‍රහාරක ගුවන් යානා 06 ක් විනාශ කරන ලදැයි විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මෙම ප්‍රහාරයේදී ගුවන් හමුදා සෙබළුන් 07 දෙනෙකු ඝාතනය කොට තවත් සෙබළුන් 24 දෙනෙකුට බරපතළ තුවාල සිදුකරන ලදැයි චෝදනා කරමින් අධිචෝදනා 311 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරනු ලැබුවේ රත්නසිංහම් පුෂ්පකුමාරන් හෙවත් නිර්මල රංජන්, වික්ටර් ඇල්ෆඩ් ඩොමිනික්, සුබ්‍රමනියම් තවරාසසිංහම්, නාගේන්ද්‍රන් නාගරත්නම් සහ තනබාලසිංහම් ජයලක්ෂමී නමැත්තන්ට එරෙහිවය.
මෙම විත්තිකරුවන් අතුරින් රත්නසිංහම් පුෂ්පකුමාරන් හෙවත් නිර්මල රංජන් නමැත්තා හැර සෙසු විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර, සුබ්‍රමනියම් තවරාසසිංහම් සහ නාගේන්ද්‍රන් නාගරත්නම් නමැති විත්තිකරුවන් දෙදෙනා මියගොස් ඇති බවට අධිකරණයට වාර්තා ඉදිරිපත් කොට තිබිණි.
වික්ටර් ඇල්ෆඩ් ඩොමිනික් සහ තනබාලසිංහම් ජයලක්ෂමී නමැත්තන් අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටීම නිසා ඔවුන් දෙදෙනා නොමැතිව නඩුව විභාග කිරීමට අධිකරණය අවසර ලබා දී තිබිණි. එලෙස නඩුව කැඳවමින් සිටින අතර පැමිණිල්ල මෙහෙයවනු ලබන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයෙකු අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළ සිදුවීමේදීම මෙම විත්තිකරු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්, අත්බෝම්බ 04 ක් හා පිස්තෝලයක් ළඟ තබාගෙන තිබී ඇතැයි කීය.
ඒ අනුව විත්තිකරුට එරෙහිව මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්, අත්බෝම්බ 04 ක් හා පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනා මත නඩු පවරා තිබූ බවත්, ඔහු එම චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මේ වනවිටත් සිරදඬුවම් විඳිමින් සිටින බවත් කී රජයේ නීතිඥවරයා ඒ නිසා මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගැනීමට අවසර ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිලිගනිමින් ඊට අවසර දුන් මහාධිකරණ කොමසාරිස්වරිය අධිකරණයට ඉදිරිපත් නොවී සැඟවී සිටින විත්තිකරුවන්ට දෙදෙනාට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළාය.