කොටි සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කළ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. සම්බන්ධයෙන් කළ පරීක්ෂණ පිළිබඳව උපදෙස් ලබාගෙන අධිකරණයට දැනුම් දීමට සතියක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේ.පී.ට රටින් පිටවීම වළක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට නියම කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති ව්‍යාපාරයේ මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් මහතා එලෙස දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ එච්.සී.ජේ. මඩවල මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබිණි.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කරුණු ඉදිරිපත් කරමින් කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. රාජ්‍ය ආරක්ෂාව යටතේ උතුරේ රාජ්‍ය නොවන සංවිධානයක (N.G.O) නිදහසේ කටයුතු කරන්නේ යැයිද, ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීම ඇතුළු අප රට තුළ දරුණු ගණයේ අපරාධ කිරීමට කොටින්ට මුදල් රැස් කර දුන්නේ ඔහු යැයිද කීය.
ඔහු නමින් ඇති ගිණුම්වල ඇමරිකන් ඩොලර් මිලියන ගණනක මුදල් ඇතැයි කී නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා දැනට නිදහසේ සිටින ඔහු අල්ලා උසාවියට ඉදිරිපත් කරන්නැයි පොලීසියට නියම කරන්නැයිද කීහ.
ඊට පිළිතුරු දෙමින් කේ.පී. සම්බන්ධයෙන් කළ පරීක්ෂණ පිළිබඳව තොරතුරු දැනුම් දීමට සතියක කාලයක් ඉල්ලා සිටි සුහද ගම්ලත් මහතා ඔහු කළ විමර්ශන පිළිබඳව තමා දන්නේ නැතැයිද පැවසීය.
ලබන 27 වැනිදා තෙක් කේ.පී. ට විදේශගත වීමේ තහනම තවදුරටත් දීර්ඝ කළ අභියාචනාධිකරණය ඔහු පිළිබඳව තොරතුරු එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද නීතිපතිවරයාට නියම කළේය.