ලංකාව තුළ තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය කොතරම්ද යන්න සොයාබැලීම සඳහා සිදුකරන සමීක්ෂණයට අනුව සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් සමීක්ෂණයට ලක්කර ඇතැයි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට ලංකාව තුළ තිබෙන කුඹුරු ප්‍රමාණය කොතරම්ද යන්න සොයාබැලීමට සමීක්ෂණයක් ආරම්භ කළ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ශාන්ත අතපත්තු මහතා සඳහන් කළේය.
මෙම සමීක්ෂණය යටතේ සින්නක්කර කුඹුරු ප්‍රමාණය, අඳ ගොවි කුඹුරු ප්‍රමාණය, රජයට අයත් කුඹුරු ප්‍රමාණය, අනවසර කුඹුරු ප්‍රමාණය ආදිය පිළිබඳවද ගණනය කිරීමක් සිදුකරන බව ඔහු පවසා සිටියේය.
රට තුළ පිහිටි සමස්ත කුඹුරු ප්‍රමාණය පිළිබඳව අවසන් වරට ගණනය කිරීමක් සිදුකර තිබෙන්නේ මීට වසර 40කට පෙර බවත්, මේ නිසා වර්තමානයේදී රට තුළ තිබෙන කුඹුරු ප්‍රමාණය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම සමීක්ෂණය අවසන් වූ පසු රට තුළ තිබෙන කුඹුරු ප්‍රමාණය කොතරම්ද යන්න නිවැරදිව සොයාගත හැකි බවත්, ඉන්පසුව ජනතාවට රජය විසින් ලබාදෙන සහනාධාර නිවැරදිව ලබාදීමට හැකියාව ලැබෙන බවත් ඔහු පවසා සිටියේය.