දේශපාලඥයන්ගේම විවිධ කටයුතු හේතුවෙන් දේශපාලඥයා විහිළු චරිතයක් බවට පත්ව ඇති බවත්, එම තත්ත්වය වෙනස් කළ යුතු බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ සූරියවැව, මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ වනවිට ජනාධිපතිතුමා නව ඡන්ද ක්‍රමයක් කැබිනට් මණ්ඩලයට ගෙනත් තියෙනවා. ඒක මනාප නැති ඡන්ද ක්‍රමයක්. එකම පක්ෂය තුළ ඇණකොටා ගන්න, රණ්ඩු සරුවල් වෙන, ගහමරා ගන්න මේ ඡන්ද ක්‍රමය වෙනුවට නව දේශපාලන ක්‍රමයක් තමයි හඳුන්වලා දෙන්නෙ. දේශපාලඥයා කියන්නෙ විකට චරිතයක් වෙලා. මේ තියෙන කුණු වෙච්ච, ජරා මනාප ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි.
මේ නව මැතිවරණ ක්‍රමය ගේන එක නවත්තන්න එක්සත් ජාතික පක්ෂයේ අය විවිධ උත්සාහයන් දරනවා. දැන් අලුත්ම දේ තමයි සුළු පක්ෂවල අය මේ යෝජනාවට විපක්ෂව කකුලෙන් අදිනවා මේ ක්‍රමය හොඳ නෑ කියලා. මම අවධාරණයෙන් කියනවා මේ අලුත් මැතිවරණ ක්‍රමය නිසා කිසිදු පක්ෂයකට, ජාතියකට අසාධාරණයක් වෙන්නෙ නෑ කියලා. අද සමහරු කියනවා 20 ගේන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. අපිටත් මේ පාර්ලිමේන්තුවෙන් ඇති වැඩක් නෑ.
අපි ඇමතිකම් ගන්නකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වෙ මම රනිල් මහත්තයට පොරොන්දු වුණේ මාස කීපයකට විතරක් අගමැතිකම දෙන්න මිසක් හැමදාම අගමැතිකම දෙන්න නෙමෙයි කියලයි. ජනාධිපතිතුමා අපිට ඇමතිකම් ගන්න එන්න කිව්ව පළවෙනි වතාවේ අපි බෑ කිවුවේ නැතිනම් අපේ මන්ත්‍රීවරුන්ට මීට වඩා වැඩි ඇමතිකම් ටිකක් ගන්න තිබුණා." යැයි පැවසීය.
සූරියවැව නුවන් ජයසේකර