කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 05ක කාලය තුළ විදේශගත වූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.
කසළ කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේ ඒ මහතා මෙම නියෝගය සිදුකළේය.
එසේම කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස්කර ඇති සැලසුම් ඉදිරිපත් කරන ලෙසත්, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබාදෙන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වන විට පාලනයට යටත්කර තිඛෙන බවත්, ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළඹෙන බවත්ය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.