කුණු කන්ද නායයෑම නිසා විපතට පත් ජනතාව වෙනුවෙන් දේශපාලනඥයන් කිඹුල් කඳුලු හෙළුවද, කුණු දැමීම නතර කරන ලෙස ඉල්ලා 2010 වසරේ සිට උද්ඝෝෂණ 15ක් සිදුකර ඇතැයි කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
එහෙත් සෑම අවස්ථාවකදීම ගැටලුවට විසඳුම් ලබානොදුන් අතර, උද්ඝෝෂකයන්ට පොලීසිය යොදාගෙන පහර දුන් බවද එහි සංවිධායක නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.
මෙවැනි අනතුරක් සිදුවෙතැයි නොසිතුවද කුණු කන්ද නිසා ඒ අවට පදිංචිකරුවන්ට සිදුවන අවහිරතා හේතුවෙන් කුණු දැමීම නතර කර දමන ලෙස මේ වනවිට දහස් ගණනක් බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බවද පවසා සිටියේය.
අඩුම තරමින් එම ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස කුණු ගෙනවිත් දැමීම සීමා කළ යුතු වුවද, සිදුවූයේ ගෙනැවිත් දමන කුණු ප්‍රමාණය දවසින් දවස ඉහළ දැමීම බවත්,කුණු කන්ද තුළින් ජනතාවට අනතුරක් වන දිනට පෙරත් කුණු මෙට්‍රික් ටොන් 1200කට අධික ප්‍රමාණයක් දිනකට මුදාහැර තිබෙන බවට වාර්තාවන බවට සංවිධායකවරයා සඳහන් කළේය.
මේ නිසා මින් ඉදිරියට කුණු ගෙනැවිත් දැමීමට කටයුතු කළහොත් එයට එරෙහිව ජීවිත පරදුවට තබා ක්‍රියාමාර්ග ගන්නා බවත්, කිසිදු කුණු රැගෙන එන වාහනයට ඇතුළුවීමට ඉඩ ලබානොදෙන බවත් හෙතෙම පවසා සිටියේය.