පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගත් පාතාල නායකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මුදල් කළමනාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සන්තකයේ තිබී පොලීසිය බාරයට පත් මත්කුඩු ජාවාරම් මුදල් සටහන් පිළිබඳ පොතෙහි රුපියල් හය කෝටි තිස් ලක්ෂයක මුදල් ගනුදෙනු සටහන් ඇතැයි හෙළි වී තිබේ.
ඉන් රුපියල් ලක්ෂ හැත්තෑ පහක මුදල් ප්‍රමාණයක් බන්ධනාගාර නියාමකවරයාගේ සිට අධිකාරීවරුන් දක්වා පුද්ගලයන්ට විවිධ අවස්ථාවල සන්තෝසම් වශයෙන් ලබා දී ඇතැයිද, එසේ මුදල් ලබාදුන් ඇතැම් නියාමකවරුන්ගේ සිට අධිකාරී නිලය දක්වා තනතුරු දරන්නන්ගේ නම්, තනතුරු හා දුරකථන අංක පැහැදිලිව සටහන් වී ඇතැයිද වාර්තා වේ.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී ඩී.ජී.එස්. ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව පෙරේදා නාරාහේන්පිට කිරිමණ්ඩල පාරේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් විස්සක්, රුපියල් දහහතර ලක්ෂ හැත්තෑදහසක මුදලක්, මත්කුඩු ජාවාරමේ මුදල් ගනුදෙනු ඇතුළත් සටහන් පොතක් හා ජංගම දුරකථන අටක් සමග රිමාන්ඩ් භාරයේ සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මුදල් කළමනාකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට පත්විය.
ඔහු සන්තකයේ තිබූ එම මුදල් ගනුදෙනු ඇතුළත් සටහන් පොත පරීක්ෂා කිරීමේදී ඉකුත් නොවැම්බර් මස 21 වැනිදින සිට ඉකුත් 24 වැනිදින දක්වා මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ රුපියල් ලක්ෂ 351 ක් රිමාන්ඩ් බාරයේ සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා වෙත යවා ඇති බව එම සටහන් පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත.
එසේම අදාළ පාතාල නායකයාගේ ආරක්ෂාව සඳහා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු කරගැනීමට කතරගම ප්‍ර‘දේශයේ කපු මහතෙකුට රුපියල් ලක්ෂ හතක මුදලක් ලබාදුන් බවද එම පොතෙහි සටහන් වී ඇතැයි පොලීසිය කියයි.
පිටු එකසිය හැට අටකින් සමන්විත සටහන් පොතෙහි පිටු අසූ හතරක් පුරා පසුගිය මාස පහක කාලය තුළ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් ගනුදෙනු සටහන්ව තිබේ.
සැකකරු ඊයේ (26දා) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර එළඹෙන 30 වැනිදා දක්වා රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.
පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයේ සහකාර පොලිස් අධිකාරි ඩී.පී.එම්. ප්‍රශාන්ත, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය, උපපොලිස් පරීක්ෂක සරත් ධර්මසිරි, සැරයන් ආනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන ජයලාල්, දිලිප් ශාන්ත, ජයසිරි යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම