ලෝකයේ කිසිම රටක් පැය 24 කින් දියුණු වී නොමති බවත් ඒ සඳහා කාලයක් ගත වෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. එසේම රට සංවර්ධනය සඳහා සෑම දෙනෙකුගේ සහාය අවශ්‍ය බවත් ඔහු පැවැසීය.
ජර්මනියේ සංචාරයේ නිතර වෙමින් සිටින ජනාධිපතිවරයා ඊයේ (17දා) එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමින් මේ බව සඳහන් කළේය.
ජනපතිවරයාගේ කතාව
"ජර්මනිය වැනි ඉතාම සංවර්ධිත රටක සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබ සැම හමුවීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. අපිට සංවර්ධිත රටවල්වලින් බොහෝ දේ ලබාගත හැකියි. ඒ බොහෝ දේ කියා මා අදහස් කළේ මේ රටවල් දියුණු වීමට අදාළ වූ කරුණු අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාව දියුණු කිරීමට ලබාගත හැකි දැනුම සහ අවබෝධයයි. අපේ රට දියුණු කරන්න ජර්මනිය වැනි රටකින් අපිට දැනුම තාක්ෂණය ලබාගන්න පුළුවන්.
මුළු ලෝකයම දන්නා පරිදි අපි දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දුන්නා. ඒ නිසා යුද්ධයෙන් කටුක බව සහ දුෂ්කර බව අපි දන්නවා. යුද්ධය නිසා අපේ රට කෙතරම් ආපස්සට ගියාද කියන කාරණාව ඔබ අපි සෑම කෙනෙක්ම දන්නවා. එසේම අදත් ලෝකයේ ඇතැම් රටවල්වල පවතින යුද්ධය නිසා ඒ රටවල්වලට සිදුවන විනාශය අපි දකිනවා. අපි මිනිසුන් විදිහට මිනිසුන්ගේ ලේ දැකීමට ආශා කළ යුතු නැහැ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන් අංශ දෙකක් පිළිබඳව අපට අවධානය යොමුකරන්න සිදුවී තිබෙනවා. ඒවා අභියෝග විදියටයි මා දකින්නේ. ඉන් පළමුවැන්න සංහිඳියාව ශක්තිමත් කිරීමයි. දෙවැන්න දුප්පත්කම නැති කිරීමයි.
සංහිඳියාව ගොඩනැගීමට යන ගමනේදී ජාතීන් අතර සමගිය ගොඩනංවන්නට ඕනෑ. බියක්, පීඩනයක්, සැකයක් නොමැතිව සතුටින් ජීවත්වන සමාජයක් ගොඩනගන්නට ඕනෑ. ඒ වගේම සෑම ආගමක් අදහන ඕනෑම භාෂාවක් කතාකරන, සෑම ජාතියකටම නිදහසේ සතුටෙන් ජීවත් කරවීමේ සමාජය ගොඩනගන්නට ඕනෑ. එසේ නොමැතිව රට දියුණු කරන්න පුළුවන්කමක් නැහැ. මේ සංහිඳියාව ශක්තිමත් කිරීමත්, දුගී බව නැති කිරීමත් පහසු කාර්යයන් නොවේ.
ලෝකයේ සංවර්ධිත රටවල් සමග ශ්‍රී ලංකාවට එක හා සමානව කටයුතු කිරීමට හැකිනම් එය කොතරම් වැදගත්ද කියන කාරණාව අපි තේරුම් අරන් තිබෙනවා. අපේ රට ඉදිරියට ගෙනයන අයුරු ලෝකයේ අන් රටවල් බලා සිටිනවා.
ලංකාවේ ජීවත්වන සෑම ශ්‍රී ලාංකිකයෙකුටම අපේ රට කියන හැඟීම ඇතිවෙන්නට ඕනෑ. ශ්‍රී ලාංකිකයන් විදියට සහෝදරත්වයෙන් ජීවත්වෙමු කියන හැඟීම සෑම කෙනෙක් තුළම තිබෙන්නට ඕනෑ. ඒ නිසා අපි කාගේත් වගකීමක් තිබෙනවා ඒ තත්ත්වය රට තුළ ගොඩනඟා ගැනීමට. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් පිට සිටින සෑම කෙනෙකුගේම සහාය සහ මිත්රශීලීභාවය ඉතාමත්ම අවශ්‍යයයි.
විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයන් රටෙන් පිටවුණා. එක් පිරිසක් 1971 වසරේ කැරැල්ල හේතුවෙන් රටෙන් පිටවුණා. ඒ වගේම 1988-89 කාලයේ කැරලි ඇතිවූ අවස්ථාවල ඇතැම් පිරිස් රට අතහැර ගියා. ඒ වගේම දීර්ඝ කාලීන යුද්ධයක් රටේ තිබුණ නිසා අතිවිශාල පිරිසක් රටෙන් පිටවුණා.
ඔවුන් රටහැර ගිය හේතුවලට විසඳුම් අපි ලබාදිය යුතුයි. යුද්ධය අවසන් වුණා වගේම යුද්ධය ඇතිවුණේ ඇයි කියන කාරණාව සොයාබැලිය යුතුයි. නැවත යුද්ධයක් ඇති නොවීමට නම් ගැටුම් මතුවී හේතුවලට අපි විසඳුම් ලබාදිය යුතුයි. අපේ රට දියුණු කරගැනීමේදී අතීතයේ සිදුවූ සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගැනීම අවශ්‍යයි. ජර්මනිය වැනි රටකින් අපිට ඒ පිළිබඳව බොහෝ දේ උගත හැකියි.
නව රජය බලයට පත්වීමෙන් පසුව අපි ලැබූ ලොකුම ජයග්‍රහණය තමයි ලෝකයේ සෑම රටක්ම අපගේ මිත්‍රයන් බවට පත්කරගැනීම. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්පූර්ණ ආශීර්වාදය අපිට ලැබුණා. ඒ නිසා අපි ඒ සෑම කෙනෙකුගේම සහයෝගය ලබාගන්නවා රට දියුණු කිරීමට. අපිට දීර්ඝ කාලයකට පසු හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ ජාත්‍යන්තර සහාය තුළින් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනෑ. ඒ සහාය තුළින් අපේ රටේ සංහිඳියාව ශක්තිමත් කරන්න ඕනෑ. ඒ තුළින් අපිට සතුටෙන් සිටින ජනතාවක් නිර්මාණය කරන්නට හැකිවෙනවා. දියුණු තාක්ෂණික දැනුම රට දියුණු කරටන්න සෑම විටම යොදාගත යුතුයි.
අද ජීවත් වන දරුවන් මීට වසර තිහ හතළිහකට පෙර ජීවත් වූ දරුවන්ට වඩා ඉතාමත්ම බුද්ධිමත්. ඔවුන් උපදින්නේ දැනුමත් අරගෙන. එය මානව සමාජයේ විශිෂ්ට ජයග්‍රහණයක්.
ඔබ දන්නවා නව රජය බලයට පත්වූ පසු පසුගිය වසර තුළ රටට අවශ්‍ය වෙනස්කම් රාශියක් කළා. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් රටේ ජනතාවට ඉතාම වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කළා. ජනතාවගේ නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කළා.
රටේ දූෂණයෙන් වංචාවෙන් තොර යහපත් පාලනයක් සඳහා ස්වාධීන කොමිෂන් සභා නවයක් පිහිටවනු ලැබුවා. අපේ රටේ මැතිවරණ පැවැත්වුණ සෑම අවස්ථාවකදීම වසර 40-50 කට වැඩි කාලයක් මැතිවරණ දූෂණ සිදුවුණා කියලා ජනතාව චෝදනා කළා. අපක්ෂපාතීව යුක්ති සහගතව ස්වාධීන මැතිවරණ පවත්වන්න මැතිවරණ කොමිෂන් සභාවක් අපි ගිය වසරේ පිහිටෙවුවා. මානම හිමිකම් කොමිෂන් සභා ශක්තිමත් කළා. විශේෂයෙන් වංචා දූෂණ ඉවත් කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව ශක්තිමත් කළා.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය පරිවර්තන සිදුකිරීමට. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ රට දියුණු කරමින් රටේ ජනතාවට සමාන අයිතිය ලබාදී සෑම කෙනෙකුටම තමන්ගේ අදහස් සහ දැනුම තුළ රට දියුණු කිරීමේ අවස්ථාව ලබාදීමටයි.
ලෝකයේ කිසිම රටක් පැය 24 කින් දියුණු වෙලා නෑ. සංවර්ධනය සඳහා යම් කාලසීමාවක් ගතවෙලා තියෙනවා. ඒ රටේ ජීවත් වෙන සෑම කෙනෙක්ම ඒ සඳහා කැපකිරීමක් කරලා තියෙනවා. ඒ අරමුණ ඇතිවයි අපි කටයුතු කරන්න ඕන. නව රජය ඒ සඳහා කැපවෙනවා. මම සහ අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන් මැතිතුමා ඇතුළු කණ්ඩායමත් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙනවා. ඒ සහයෝගය තුළ තුනෙන් දෙකක බලයක් ලබාගෙන අයවැය සම්මත කර ගැනීමටද ලැබුණා.
රජය පිළිබඳ විවිධ විවේචන සහ චෝදනා ඉදිරිපත් වුවත් අපි දේශපාලන වශයෙන් ශක්තිමත් රජයක් කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනැ. ඒ නිසා අපට රටක් ලෙස ඉදිරියට යන්න හැකියාව තිබෙනවා. අද දවස ඉතාමත් වැදගත් දවසක් අපේ රටට. ඔබ දන්නවා වසර 15 කට පසු තමයි ශ්‍රී ලංකාවේ රාජය නායකයෙක් ජර්මනියට ආවේ. අද උදෑසන ජර්මන් චාන්සලර්වරිය අපි හමුවුණා. ඉතාම සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුවා. දෙරට අතරේ සම්බන්ධතාව වැඩිකරගෙන කටයුතු කිරීමට අපි එකඟතාව ඇති කරගත්තා. වෙළෙඳ, ආර්ථික, සංස්කෘතික ආදී අංශ සම්බන්ධයෙන් දෙරටේ නව එකඟතා එක්ක අපේ සබඳතාවල අලුත් පිටුවක් පෙරළුණා කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ජර්මන් ජනාධිපතිතුමාව හමුවුණා. ඒ සෑම සාකච්ඡාවක්ම ඉතාමත් සාර්ථකයි. ජර්මනියේ ආර්ථික කටයුතු ඇමතිතුමා සමග නියෝජිත පිරිසක් ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට අපිට චාන්සලර්වරිය දන්වා සිටියා.
දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ජර්මනිය අපට උදව්, උපකාර ලබාදී තිබෙනවා. එමෙන්ම ඉදිරි කාලසීමාව තුළත් අපේ රට සංවර්ධනය සඳහා ජර්මනියෙන් විශාල වශයෙන් ආධාර සහ සහාය ලබාදෙන බවට සෑම ජර්මන් නායකයෙක්ම සඳහන් කළා. මම විශ්වාස කරනවා ලෝකයේ සෑම රටකම සහාය අපිට තියෙන නිසා ලංකාවේ අනාගතය ඉතාමත්ම සුබවාදී වෙයි කියලා.
ඔබ දන්නවා මා සමග අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම පැමිණියා. ඒ සෑම කෙනෙක්ම පැමිණියේ වැදගත් කාර්යයක් ඉටුකිරීමටයි. මේ සෑම කටයුත්තකදීම ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති අමුණුගම මැතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය ඉතාමත් හොඳ සහායක් දැක්වුවා.
ඔබ දන්නවා යුරෝපය තුළ බොහෝ ශ්‍රී ලාංකිකයන් ජීවත්වෙනවා. මම ඒ සෑම කෙනෙකුටම ආරාධනා කරනවා ශ්‍රී ලංකාවට එන්න කියලා. ප්‍රධාන වශයෙන් යුද්ධය පැවති කාලයේ රටින් පිටවූ සෑම රටකම ඉන්න සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි විවෘතව ආරාධනා කරනවා ආපසු අපේ රටට එන්න කියලා." යැයි පැවසීය.