භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව රවි කරුණානායක මහතා ඇතුළු කිසිදු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුට බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ අයිතිකරුවන්ට වෝල්ට් ඇන්ට් රෝ පෞද්ගලික සමාගම විසින් ගෙවන නිවාස බදු මුදල් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අයථා ප්රතිලාභ ලැබූ බවට නිගමනය වී තිබෙන බවද එම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එසේම රවි කරුණානායක මහතා විසින් කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබාදෙන ලද බව පෙනී යන හෙයින් ඒ පිළිබඳ පරික්ෂා කොට, එසේ ඔහු විසින් ලබා දී ඇති සාක්ෂි අසත්‍ය නම් 1948 අංක 17 විමර්ශන කොමිෂන් සභා පනතේ 9 වගන්තිය සමග එක්විය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 169 වගන්තිය යටතේ හෝ 188 වගන්තිය යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේ නඩු පැවරීමට පදනමක් තිබේද යන්න නීතිපතිවරයා විසින් හෝ වෙනත් නිසි අධිකාරියක් විසින් සලකා බැලිය යුතු බවටද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවි කරුණානායක මහතාට විරුද්ධව නඩු නොපැවරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හෝ අවසන් තීරණයක් ගනු ලබන තෙක් හෝ ඔහුට විරුද්ධව නඩු පැවරුවහොත් එම නඩු කටයුතු අවසන් වන තෙක් ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරේ වගකීම් කිසිවක් නොදැරිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන් විසින් පත්කරන ලද කමිටුව නිර්දේශකොට ඇති බවද එම නිවේදනයේ පෙන්වා දී තිබේ.
පෙබරවාරි මැද භාගයේදී පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.