කියුබාවේ අසහාය නායක ෆිදෙල් කැස්ත්‍රෝ වෙත සිය අවසන් ගෞරවය පුදකිරීම සඳහා දහස් ගණන් කියුබානුවන් හැවානා හි සුප්‍රසිද්ධ විප්ලවීය චතුරස්රයේ පෝලිම් ගැසී සිටින බව විදෙස් වාර්තා පවසයි.
ශතවර්ෂ අඩකට ආසන්න කාලයක් කියුබාව පාලනය කරමින් විප්ලවීය පෙරළීන් රැසක් සිදුකළ ෆිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් විශේෂ වෙඩි මුර 21ක ආචාරය පුද කරමින් සිය අසහාය නායකයාට ගෞරව දැක්වීම අරඹා ඇති අතර, ඒ සඳහා හැවානා හි විප්ලවීය චතුරස්‍රය දින දෙකක කාලයක් ජනතාවට විවෘත බවද කියුබානු රජය පවසා තිබේ.
පසුගිය සිකුරාදා 90 වැනි වියේදී කැස්ත්‍රෝ ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටියත්, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය නොකිරීමටද එරට රජය කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, කැස්ත්‍රෝගේ දේහය පසුගිය සෙනසුරාදා (26දා) පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් භූමදාන කර තිබූ අතර, ඔහු වෙනුවෙන් මෙසේ ජනතා ගෞරවය දැක්වීම ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.
එහිදී, ජනතාව දිගු පෝලිම් ගැසී කඳුළු පිරි දෙනෙතින් යුතුව සිය අසහාය නායකයාට ගෞරව කිරීම වෙනුවෙන් විප්ලවීය චතුරස්රයේ වූ ජෝස් මාටීස් අනුස්මරණ ශාලාව වෙත පැමිණෙන ආකාරය දැකිය හැකිවිය. එහි ෆිදෙල් කැස්ත්‍රෝ ලබාගත් පදක්කම් මෙන්ම ඔහු වෙනුවෙන් වූ විශේෂ සැරසිලි සිදුකර තිබූ බවත්, ඒ සඳහා විශේෂ හමුදා ගෞරව කිරීමක් ලබාදී තිබූ බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, සම්පූර්ණ දින නවයක ශෝක කාලයක් කියුබානු රජය විසින් ෆිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් වෙන්කර ඇති බවද එරට රජයේ වාර්තාවල සඳහන් විය. ඒ අනුව, ඔහුගේ භෂ්මාවශේෂ රැගත් රිය පෙරහරක් එලැඹෙන බදාදා දිනයෙන් අරඹී රට පුරා ගමන්කර දින හතරක අවමංගල්‍ය උත්සවයක් ලෙස කැස්ත්‍රෝ සිය විප්ලවය ඇරඹූ නැගෙනහිර කියුබාවේ සැන්තියාගෝ නගරය බලා ගමන් කිරීමට නියමිත බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි. අනතුරුව, ඔහුගේ භෂ්මාවශේෂ එහි තැන්පත් කිරීමට නියමිත බව සඳහන් විය.
කෙසේ වෙතත්, ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ විශේෂ මංජුසාවක බහා විප්ලවීය චතුරස්රයේදී ප්‍රදර්ශනය කරන බවට මීට පෙර එරට රජය විසින් නිවේදනය කර තිබුණත්, එවැනි භෂ්මාවශේෂ මංජුසාවක් ප්‍රදර්ශනය කිරීමක් සිදු නොවූ බවද ප්‍රංශ පුවත් සේවය පෙන්වා දෙයි.
මේ අතර, වසර 50කට පසුව ඇමෙරිකාව හා කියුබාව අතර ප්‍රථම වාණිජ ගුවන් ගමන සිදුකරමින් ඇමෙරිකානු ගුවන් සේවයට අයත් යානයද කලින් සැලසුම් කර තිබූ පරිදි 28දා ජෝස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමද ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයත් සමග සුවිශේෂී සිදුවීමක් විය. කියුබාව වෙත පැමිණි ඇමෙරිකානු යානයේ නියමු කුටියෙන් ඇමෙරිකානු ධජය මෙන්ම කියුබානු ධජයද ඔසවමින් කැස්ත්‍රෝ වෙනුවෙන් ගෞරව කිරීමක්ද සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.