කැළිකසළ අයිතිකරගෙන සිටින ජාවාරම්කරුවන්ට එරෙහිව ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) ප්‍රකාශ කළේය.
තමන්ගේ වත්පොහොසත්කම් රැකගැනීමේ අරමුණෙන් මෙම ජාවාරම්කරුවන් කැළිකසළ අයිතිකරගෙන සිටින බව කී ජනාධිපතිවරයා, ඒ පිළිබඳව විශේෂ සොයාබැලීමක් සිදුකරන බවදපවසා සිටියේය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ජාතික හරිත සම්මාන 2015 උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කැළිකසළ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇත්තේ රාජ්‍ය ආයතන අතර පවතින කඹ ඇදිල්ල නිසා බවත්, පරිසරය ආරක්ෂා කිරීමට සිටින ප්‍රධාන රාජ්‍ය ආයතන ඉදිරියේදී ඒකාබද්ධ කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා සිටියේය.
"කැළිකසළ අස්සේ නොයෙක් ජාවාරම්කරුවන් ඉන්නවා. සමාජය තුළ අයහපත් විදියට, අවිනීත විදියට හැසිරෙන මේ අය තමන්ගේ වත්පොහොසත්කම් ආරක්ෂා කරගන්නට, තමන්ගේ ආර්ථිකය ගොඩනගාගන්නට අද කැළිකසළ ගොඩ අයිතිකරගෙන තියෙනවා.ඒ නිසා මේ සම්බන්ධව තියෙන නීතිරීති තව තවත් ශක්තිමත් කිරීමටත්, නීතිරීති තදින් ක්‍රියාත්මක කිරීමත්, පරිසර සංරක්ෂණය ගැන පාසල් සිසුන් දැනුවත්ම කිරීමත් තුළින් අප බලාපොරොත්තු වන අරමුණුවලට යන්න බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.