හිටපු කියුබානු ජනාධිපති හා කියුබානු විප්ලවයේ අසහාය නායක ෆිදෙන් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ රැගත් විශේෂ මංජුසාව සැන්තියාගෝ නගරයේ තැන්පත් කිරීමේ රාජ්‍ය උත්සවය සඳහා දස දහස් ගණන් ජනයා එක්රොක් වී සිටිති.
කියුබානු විප්ලවයේ ජන්ම භූමිය ලෙස සැලකෙන සැන්තියාගෝ නගරය වෙත විශේෂ රිය පෙරහරකින් එම භෂ්මාවශේෂ රැගෙන එන විට ජනතාව ෆිදෙල් දිකුකලැ වැජඹේවා යනුවෙන් කෑමොර දුන් බව විදෙස් වාර්තා පවසයි.
මෙම විශේෂ අවමංගල්‍යය උත්සවයේ ප්‍රධානත්වය වත්මන් කියුබානු ජනපති රාවුල් කැස්ත්‍රෝ විසින් දරණ අතර, සිය සහෝදරයා වූ ෆිදෙල් රෝගාතුර වීමෙන් පසුව කියුබාවේ සුක්ඛානම ඔහු අතට පත්විය.
අද (04දා) ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාව ශේෂ භූමදානය කිරීම විශේෂ අවමංගල්‍ය උත්සවයෙන් හා ජනතාවගේ අවසන් ගෞරවය පුද කිරීමෙන් පසුව සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලාව, නිකරගුවාව, බොලීවියාව ආදී රටවල රාජ්‍ය නායකයන් මෙන්ම ආජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනාද අසහාය නායකයාට ගෞරව දැක්වීම සඳහා පැමිණීමට නියමිතය.
එමෙන්ම, හිටපු බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ඩ්ලිමා රොයුසෙෆ් ආදීහුද මේ වනවිට අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් කියුබාවට පැමිණ සිටී.
කියුබාවේ අගනගරය වූ හැවානා නගරයේ සිට දින හතරක් පුරා පැවති අවමංගල්‍ය රිය පෙරහරකින් සිය අසහාය නායකයාගේ භෂ්මාවශේෂ රැගෙන යනවිට කියුබානු ජනතාව මග දෙපස සිට කියුබානු ධජය ලෙලදෙවමින් ඔහු වෙත ගෞරව පුද කළ බවද විදෙස් මාධ්‍ය සිහිපත් කර සිටී.
පසුගිය නොවැම්බර් 25 වැනිදා 90 වැනි වියේදී බටහිර බලවේගයන් හමුවේ නොනැසී හා නොනැමී ක්‍රියා කළ මේ අසහාය නායකයා දිවියෙන් සමුගෙන තිබුණි.