20 වැනි සියවසේ බිහිවූ අද්විතීය විප්ලවවාදියෙකු වූ කියුබානු ජනරජයේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවයත් සමග ශ්‍රී ලංකාවට සමීප මිතුරෙකු අහිමි වී ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කියුබානු හිටපු නායකයාගේ අභාවය වෙනුවෙන් කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ මහතා වෙත විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අද්විතීය නායකයෙකුගේ නික්ම යෑම පිළිබඳ ශෝක වන කියුබානු ජනතාව සමග ශ්‍රී ලංකාවද අත්වැල් බැඳගෙන සිටින බවයි.
උග්‍ර බාහිර අභියෝග මධ්‍යයේ වුවද කියුබානු ජනතාවගේ සුබසිද්ධිය ප්‍රවර්ධනය සඳහා සිය ජීවිතයක්, වෘත්තියත් කැපකළ ෆිදෙල් කැස්ත්‍රෝ අද්විතීය හා ආදර්ශමත් නායකයෙකු බවද ජනාධිපතිවරයා පවසයි.
එම කැපවීම මගින් විශේෂයෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ කියුබාව ලබාගත් ජයග්‍රහණ මගින් ලොව තුළ කියුබාවට විශේෂ ස්ථානයක් හිමිවූ බවද ජනාධිපතිවරයා සිහිපත් කරයි.
ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාවේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද කියුබාව ලබාගත් එම ජයග්රහණයවල ප්රතිලාභ ලබමින් සිටින බව ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිගු කාලීණ මිත්‍රත්වයක් පවතින අතර, එය නොබැඳි ව්‍යාපාරයේ වටිනාකම් සහ මානව සංවර්ධනය සඳහා දෙරට දක්වන පොදු කැපවීම මගින් තහවුරු කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මෙම ශෝකජනක අවස්ථාවේ පෞද්ගලිකව තමාගේත්, ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේත් බලවත් ශෝකය කියුබානු රජය සහ ජනතාව වෙතත්, කැස්ත්‍රෝ පවුලේ සාමාජිකයන් වෙතත් පළ කරන බව ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.