(UPDATE) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපස කැලෑවක, ගසක එල්ලෙමින් තිබියදී හමු වූ මළ සිරුර අතුරුදහන්ව සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුවන දික්ඕවිට කංකානම්ගේ නිශාන්ත (23) ගේ බවට ඔහුගේ ඥාතීන් විසින් අද (11දා) හඳුනා ගන්නා ලදැයි පොලීසිය සඳහන් කරයි.
පසුගිය වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට එහි ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙකුට එරෙහිව පේරාදෙණිය පොලීසිය විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ අතර එම නඩුවේ දී ලිංගික අතරවයට ලක්වූ සිසුවාට පක්ෂව අධිකරණය හමුවේ සාක්ෂි දුන් සිසුවා වූයේ ද දික්ඕවිට කංකානම්ගේ නිශාන්ත නමැති මෙම මරණයට පත්වී සිටින ශිෂ්‍යයාය.
මෙම නඩු විභාගයේ දී අධිකරණය එම ජ්‍යෙෂ්ඨ සිසුන්ට නියෝග කළේ අතවරයට ලක් වූ සිසුවාට වන්දි මුදල් ගෙවන ලෙසය..එම නඩුවෙන් පසු මෙම සිසුවා විශ්වවිද්‍යාලය හැරගොස් ඇති අතර, කිසියම් උවමනාවක් සඳහා මෙම සිසුවා පසුගිය දිනයක විශ්වවිද්‍යාලයට පැමිණෙනන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මෙම ශිෂ්‍යයා විසින් පසුගියදා විශ්ව විද්‍යාල පරිශ්‍රයට පැමිණ මාකස් ප්‍රනාන්දු ශාලාව ආශ්‍රිතව සිටින බවට ඔහුගේ මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව ද පොලීසියට තොරතුරු හෙළවී තිබේ.
මල්වාන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ නිශාන්ත නමැති ශිෂ්‍යයා අතුරුදහන්ව ඇති බවට ඔහුගේ දෙමාපියන් විසින් ජනවාරි මස 26 වැනිදා කඩවත පොලීසියට පැමිණිල්ලක් කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපස කැලෑවක, මළ සිරුරක් එල්ලෙමින් තිබෙන බව එම කැලෑ ප්‍රදේශය ආශ්‍රිතව බාලදක්ෂ ක්‍රියාකාරකම් කළ බාලදක්ෂයන් කණ්ඩායමක් දැක ඇති අතර ඔවුන් මේ බව විශ්ව විද්‍යාලයේ ආරක්ෂකයින්ට දැනුම් දී තිබේ. විශ්වවිද්‍යාල ආරක්ෂකයින් මේ බව පොලීසියට දන්වා තිබේ.
කැලෑවෙන් හමු වූ මළසිරුර දැඩි ලෙස නරක්වී තිබූ බව පවසන පොලීසිය දින ගණනාවක් මළසිරුර ගසේ තිබී ඇති බවද පවසයි.
මෙම සිසුවාගේ මරණයට හේතුව කිසියම් අභිරහස් ඝාතනයක්ද නොඑසේනම් සියදිවි නසා ගැනීමක්ද යන්න හෙළි කර ගැනීම සඳහා පුළුල් හා විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ යුතුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. මරණ පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතව තිබේ.