කැලණිය විශ්වවිද්‍යාලයේ මේ දිනවල දරුණු ලෙස පවතින නවක වදය මැඬලීම සඳහා එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
එහි සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා සඳහන් කළේ උපකුලපතිවරයාට පක්ෂ පිරිසක් සහ නවක වදයට විරුද්ධ පිරිසක් වශයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් කණඩායම් 02කට බෙදී සිටීම මේ සඳහා හේතු වී ඇති බවයි.
නවක වදය පිළිබඳ ප්රශ්නය විසඳීම සඳහා මැදිහත් වුවහොත් උපකුලපතිවරයාට ගැටලුවක් ඇති වේ යැයි සිතන ආචාර්යවරුන් පිරිසක් මෙම එක් කණ්ඩායමක සිටින බව කී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් සිසුන් සියදිවි නසාගැනීමට ඉඩ තිබෙන බවයි.
උපකුලපතිවරයා විසින් නවක වදය සිදුනොවන බවට ප්‍රකාශ කරමින් ප්රශ්නය යට ගැසීමේ වැඩපිළිවෙළක යෙදෙන්නේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුළු ආණ්ඩුව නිරත වන නිසා බවත්, මෙම තත්ත්වය තුළ පවතින දේශපාලනයට විරුද්ධව විශාල සටනක් කිරීමට සිදුව ඇති බවත් සභාපතිවරයා කීවේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය සමග එක්ව මේ සඳහා මැදිහත්වීමක් කිරීමට විශ්වවිද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනය උත්සාහයක යෙදුණද, එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගෙන් ඒ සඳහා ප්‍රමාණවත් සහායක් නොලැබුණු බවද හල්වතුර මහතා සඳහන් කළේය.