කැලණි ගඟට බහුකාර්ය යෝජනා ක්‍රමයක් අවශ්‍ය බවත් ඒ හරහා එහි ජලය වියළි ප්‍රදේශවලට රැගෙන යාමට කටයුතු කළ යුතු බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“ මහවැලි ගඟට වගේ කැලණි ගඟටත් බහුකාර්ය යෝජනා ක්‍රමයක් අවශ්‍යයි. අපේ අමාත්‍යාංශය මගින් එය යෝජනාව ඉදිරිපත් කළ පසු රජය මගින් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. කැලණි ගඟේ වැඩි වතුර වියළි ප්‍රදේශවලට ගෙන යාමත් ගංවතුර පාලනයට ස ඉංගීසීන්ගේ කාලයේ ඉදිකර තිබෙන වේලි පද්ධති ශක්තිමත් කිරීමත්, කැලණි ගඟ කිසියම් දුරකට ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගැනීමත්, කොළඹ නගරයේ පානීය ජල ප්රශ්නය විසඳීමට කැලණි ගඟෙ ජලය තවදුරටත් උපයෝගි කර ගැනීමටත් එම බහුකාර්ය යෝජනා ක්‍රමයේදී අපි යෝජනා කර තිබෙනවා.
එය තමයි දිගුකාලීනම විසඳුම. ලෝකයේ සෑම දියුණු රටක්ම දියුණුව කරා යාමට ගංගා ද්‍රෝණිය හරි වැදගත් වී තිබෙනවා. ලන්ඩන් නගරය තේම්ස් නදිය නිසාත්, ජර්මනියේ බර්ලින් නගරය හැම්බර්ග් වරාය, ප්‍රංශයේ පැරීසියේ තේම්ස්, චීනයේ පර්ල් නදිය වැනි ගංගා නිසා එම නගර දියුණුවෙන් දියුණුවට පත්වී තිබෙනවා.
එම රටවල ගංගාව තමයි සෞභාග්‍යයේ දොරටුව. කැලණි ගඟ තමයි අපේ කුණු කන්දල් ටික පිට කරන, අපද්‍රව්‍ය ටික පිටකරන සංවර්ධනයේ විලාපය බවට පත්වී තිබෙන්නේ. ඒ වෙනුවට කැලණි ගඟ අපේ රටේ සෞභාග්‍යයේ දොරටුව බවට නැවතත් පත් කළ යුතුයි” යැයි ද පවසා සිටියේය.