විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ කැලණි ගඟේ ජලය දූෂණය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
දූෂණයට ලක්වු කැලණි ගඟේ ජලය ඉන්දියාවේ පර්යේෂණාගාරයකට යවා සිදුකරන ලද පරීක්ෂණයනට අනුව එම ජලයේ මෙතිලිමයිඩසෝල් 4 (4 Methylimidazol, 4MEI, C4H6N2) නම් විෂ සහිත කාබනික සංයෝග අඩංගු වී ඇති බවට තහවුරු වී ඇතැයි දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේ පවසමින් හෙතෙම මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරක් බලාපොරොත්තු වන බවද පවසා සිටියේය. එහිදී ඔහු නැගූ ප්‍රශ්න මෙසේය.
1. අගෝස්තු මාසයේ කැලණි ගඟේ ජල දූෂණ සිදුවීමේදී ඊට හේතු වී ඇත්තේ කවර රසායනික සංයෝගදැයි හඳුනාගෙන තිබේද?
2. ඒ අතර -මෙතිලිමයිඩසෝල් (4-Methylimidazol, 4-MEL, C4H6N2) නම් විෂ සහිත කාබනික සංයෝගය නොමැත්තේද?
3. අගෝස්තු මාසයේ කැලණි ගඟේ ජල දූෂණ සිදුවීම් නිසා රාජ්‍ය ආයතනවලට සිදුවූ පාඩුව වෙන් වෙන් වශයෙන් කොපමණද?
4. ජල දූෂණයට අදාළව නීතිමය පියවර ගෙන තිබේද? නීතියට පිටින් වන්දි ගෙවීමක් සිදුවූයේ නම්, ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීම නතර කරන ලද්දේද?
5. ජල දූෂණ සිදුවීම වෙනුවෙන් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් වන්දි මුදලක් ගෙවා ඇත්ද? ඒ කවර ආයතනවලට කවර ප්‍රමාණයක්ද? ඒ සඳහා වන වන්දි තක්සේරු කරන ලද්දේ කවර ආයතනයක් විසින්ද?
6. කොකා කෝලා බියගම කර්මාන්ත ශාලාවට පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම සඳහා පූර්ව ආරක්ෂිත උපාය මාර්ග ස්ථාපිත කිරීම ඇතුළු සියලු කොන්දේසි සපුරා ඇති බවට සහතික වන්නේද?
7. මෙම ජල දූෂණ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියට සිදුවන පරීක්ෂණ හා නීතිමය පියවර තිබේද? එසේ නම් ඒවා කවරේද?
8. කැලණි ගඟට මුදා හැරෙන සියලු කර්මාන්ත ශාලා අප ජල මූලාශ්‍ර සොයා බැලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නයි.
මෙහිදී නැගී සිටි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ, අදාළ ප්රශ්නය සම්බන්ධයෙන් හෙට (07දා) දිනයේදී පිළිතුරක් ලබාදෙන බවයි.