පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇති බැවින් ඔහු පසුපස දණින් වැටී තනතුරු ලබාගැනීමට උත්සාහ නොකරන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (10දා) පැවසීය.
මේ දක්වා වසර 05 ක් ඉවසා සිටි පරිද්දෙන් ඉදිරි මාස දෙක හමාරද ගෞරවය රැකගෙන ජනතා සේවයේ යෙදෙන බවත්, තමාට ලැබිය යුතු මන්ත්‍රී ධුරය අහිමි වී ගියේ වත්මන් ආණ්ඩුවේ සිටින කුහක චරිත කිහිපයක් කැටගොඩ මහතාට උල්පන්දම් දී තිබූ නිසා බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ මැටි අම්බලම හන්දියේ පිහිටි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවසීය.
මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා විසින් මන්ත්‍රී ධුරයේ නීත්‍යනුකූලභාවය පැහැදිලි කර තිබියදී කැටගොඩ මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවද ඔහු කීය.
ආරක්ෂක අංශයේ ප්‍රධාන තනතුරු සඳහා වත්මන් ආණ්ඩුවේ පත්කිරීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද සරත් ෆොන්සේකා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ආරක්ෂක ක්ෂේත්‍ර‘ය සම්බන්ධ අවබෝධයක් නැති පුද්ගලයන්ට ප්‍රධාන තනතුරු පිරිනමා තිබෙන බවත්, ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් වීම අවශ්‍ය බවත් ඒ මහතා පවසා සිටියේය.
නීති විරෝධී අයුරින් තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ සිද්ධිය ඇතුළුව පසුගිය කාලයේ සිදු වූ බොහෝ දූෂණ වංචා කටයුතුවලට දැනට රාජකාරියේ නියුතු හමුදාපතිවරුන් සම්බන්ධ බැවින් ඔවුන් සියලු දෙනාට දඬුවම් ලබාදීම අවශ්‍ය බව පැවසූ ෆොන්සේකා මහතා මේ පිළිබඳව අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට තමන් කරුණු දක්වා තිබෙන බවත්, ඉදිරියේදී එම ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් කියා සිටියේය.
විශේෂයෙන් ජනවාරි 08 වැනිදා විශාල හමුදා කුමන්ත්‍රණයක් සිදුකිරීමට මෙම නිලධාරීන් උත්සාහ ගත් බවද ඔහු සඳහන් කළේය.
මේ හා සමානව දූෂණ වංචා සිද්ධිවලට සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා සම්බන්ධවද පරීක්ෂණ පවත්වා අවශ්‍ය දඬුවම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඔහු පැවසීය.
තමා සේවයෙන් ඉවත් කළ සමයේ හමුදාවේ ප්‍රධාන නිලධාරීන් 40 ක් පමණ සේවයෙන් ඉවත් කර තිබූ බවත්, ඉදිරි සති 02 ඇතුළතදී ඔවුන් යළිත් හමුදාවට බඳවාගෙන අවශ්‍ය වරප්‍රසාද ලබාදෙන බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂය තනිවම තරග කරන බවද ඒ මහතා කියා සිටියේය. රටපුරා සංවිධායකයන් සිටින, ඡන්ද පදනමක් ඇති තම පක්ෂයට තනිවම තරග කිරීමට ශක්තිය තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයේ ප්‍රථම වරට ෆීල්ඩ් මාර්ෂල් ධුරය පිරිනැමීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවයි. මේ සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී තිබෙන බවත්, අවශ්‍ය අණපනත් සම්මත කරගෙන එම කටයුතු සිදුකරන බවට තමන්ට පොරොන්දු වී ඇති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.