පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට ඇති අවස්ථාව තවදුරටත් පමාවන ආකාරයක් දක්නට ලැබේ.
කැටගොඩ මහතා ඉල්ලා අස්වූ පසු සරත් ෆොන්සේකා මහතාට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය මේ වනවිට කැටගොඩ මහතාට දන්වා තිබුණද, පසුගිය සිකුරාදා (06දා) සහ සෙනසුරාදා (07දා) පැවැති පාර්ලිමේන්තු සැසිවාරවලට ඒ මහතා සහභාගී වූයේ නැත.
මේ පිළිබඳව කරුණු විමසීම සඳහා ජයන්ත කැටගොඩ මහතා සම්බන්ධ කරගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් 'අද' ට ප්‍රකාශ කළේය.
'අද' පුවත්පතද ජයන්ත කැටගොඩ මහතා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එම අවස්ථාව ලබාදීමට සූදානම් බවත්, එහි නීතිමය තත්ත්වය පැහැදිලි කරන ලෙසත් ඉල්ලා මීට පෙර ජයන්ත කැටගොඩ මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමුකර තිබුණි.
එහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳව විමසා තිබුණු අතර, ඔවුන්ගේ නිර්දේශය වී තිබුණේ කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවට යෑමට නීතිමය බාධාවක් නොමැති බවයි.
අනතුරුව එම තීරණය දැක්වෙන ලිපියක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්රජාතන්ත්රවාදී පක්ෂයට ඉකුත් බ්‍රහස්පතින්දා (05දා) යොමුකර තිබේ.
ඉන් පසුව සිකුරාදා දහවල් කාලයේදී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජිතයෙකු කැටගොඩ මන්ත්‍රීවරයා මුණගැසී එම ලිපිය භාරදී තිබෙන අතර, එහි සඳහන් නිර්දේශ අනුව කටයුතු කරන බව ඔහු එහිදී පවසා ඇත.
නමුත් සිකුරාදා සහ සෙනසුරාදා පැවැති පාර්ලිමේන්තු සැසිවාර සඳහා කැටගොඩ මහතා සහභාගී නොවූ බැවින් ෆොන්සේකා මහතාගෙන් ඒ පිළිබඳව විමසීම් කිරීමට උත්සාහ ගත් බවත්, එය සාර්ථක නොවූ බවත් එම පක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කළේය.