සිය පාලන කාලයේ දී ආර්ථිකය ශක්තිමත් කර බඩු මිල අඩුකර කාන්තාවන්ට සහන ලබාදුන් බවත්, එහෙත් දැන් ආර්ථිකය කඩාවට්ටා බඩු මිල ඉහළ දමා කාන්තාවන් අපහසුතාවට පත්කර තිබෙන නිසා කාන්තාවන්ගෙන් සමාවගත යුත්තේ රනිල් වික්රමසිංහ මහතා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
තමා යහපත් පවුල් ජීවිතයක් ගතකරමින් දරුවන් තිදෙනෙකු සිටිනා පියෙකු බවත්, තම පාලන කාලය තුළදී කාන්තාවන්ට රැකියා ලබා දී, ස්වයං රැකියා සඳහා උදව් උපකාර කර, කුස්සියට සහන සලසා කාන්තාවන් ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.
කිරුළපන අභයාරාමයේ ඊයේ (26දා) පැවැති රුහුණු මිතුරු සංසදයේ නියෝජිත හමුවේදී මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, යහපාලනයක් ඇති කරන බව පවසමින් පත්වූ ආණ්ඩුව ගෙවීගිය මාස 05 ක කාලය තුළදී සිදුකළේ වෛරී සහ පළිගැනීමේ පාලනයක් බවයි.
එම පාලනය තුළ පසුගිය ආණ්ඩු සමයේදී රටට වැඩ කළ දේශපාලඥයන් බොරු චෝදනා එල්ලකර සිරගත කරමින් සිටින බවත්, මීට අමතරව පසුගිය ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ අය වැය ඉවත දමා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර බඩු මිල විශාල ලෙස ඉහළ දමා තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
බඩු මිල ඉහළ දැමීම නිසා එවැනි බලපෑම් විශාල ලෙස කුස්සියට දැනී තිබෙන බවත්, මේ නිසා කාන්තාවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් කියා සිටි හිටපු ජනාධිපතිවරයා ඒ අනුව කාන්තාවන්ගෙන් සමාව ගතයුත්තේ අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා බවද සඳහන් කළේය.