කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණයට ලක්කරන වෛද්‍යවරුන්ට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
මෙරට ඓතිහාසික ශිෂ්ටාචාරය නිර්මාණය කළ වසර දෙදහස් ගණනක් සම්බුදු සසුන රැකි සිංහල ජාතිය වඳවීමට ඉඩ දී තවදුරටත් බලා සිටිය නොහැකි බවටත්, මෙම සෝචනීය තත්ත්වය මනාව තේරුම්ගෙන සිංහල ජාතිය රැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත්, ජාතිය වඳ කිරීමේ කුමන්ත්රණයේ නියුතු කිසියම් හෝ පුද්ගලයෙකු වේ නම් දැඩි දඬුවම් ලබා දී නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
සිංහල ජනතාවට ලොව ඇති එකම රට තුළ මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වීම දරාගත නොහැකි ඛේදනීය ඉරණමක් බවත්, මේ දුර්භාග්‍යයේ යටි අරමුණ වී ඇත්තේ මහජාතිය වන සිංහල ජාතිය විනාශ කිරීම පමණක් බවත් පැවසූ සෝභිත හිමියෝ යුදමය වාතාවරණයෙන් සිංහල ජනතාව වැඩි පිරිසක් මරණයට පත් වූ බවත්, මේ වනවිට පන්සලක පැවිදි වීමට තරම්වත් කෙනෙකු පවුලකින් සොයාගැනීමට නොහැකි බරපතළ තත්ත්වයක් උදා වී ඇති බවත් පෙන්වා දෙති.
මේ ආකාරයෙන් සිංහල ජාතිය බරපතළ අගාධයකට ලක්ව ඇති ක්‍රියාදාමය තුළ සැඟවී සිට කටයුතු කරන බලවේග ලෙස රාජ්‍ය නොවන සංවිධාන හා අන්තවාදී ආගම් කල්ලිවල නම් නිරන්තරයෙන් කියවෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
වරෙක මුස්ලිම් ජාතිකයෙකු ව්‍යංජන රසවත් කිරීම සඳහා භාවිත කරන තුනපහ සඳහා සතකුප්පා මිශ්‍ර කර විකිණූ සිද්ධියක්ද, යුද සමයේදී ආබාධිත සෙබළුන්ට ප්‍රතිකාර කිරීමේදී අනවශ්‍ය ලෙස පාද ඉවත් කළ සිද්ධියක් පිළිබඳවද, කාසල් රෝහල ඇතුළු විවිධ රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල දරුවන් ලැබීමෙන් පසු සිදුවන වන්ධ්‍යාකරණයන් ගැනද නිරන්තර අසන්නට ලැබුණු බවත්, මේ වනවිට දඹුල්ල රෝහලෙන් එවැනි තොරතුරු ලැබෙමින් තිබෙන බවත් සෝභිත හිමියෝ කීහ.
1960 දශකයේ පුංචි පවුල රත්තරං යැයි කියමින් ගෙනගිය රාජ්‍ය ප්‍රචාරණය රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉතා ප්‍රවේගකාරීව සමාජගත කරමින් සිංහල ජන සංයුතිය වෙනස් කරන්නට කටයුතු කළ අන්දම කොමිෂන් සභා මගින්ද තහවුරු කර ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.