ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදුවූ වංචා දූෂණ රැසක තොරතුරු තමන් සතුව ඇති බවත්, එම තොරතුරු හා ක්‍රීඩා ක්ෂේත්රයේ මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා දිනයක් වෙන්කර දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් නව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ වංචා, දූෂණ රැසකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී තිබිණි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේද සාකච්ඡාවට ලක්විය.
ආණ්ඩු බලය මාරුවීමත් සමග වංචා දූෂණවලට අදාළ ලිපි ලේඛන ඒවාට වගකිවයුතු පුද්ගලයන් විසින් ආයතනයේ හොර රහසේ ඉවත් කිරීමට සූදානම් වන බවටද පසුගිය 17 වැනිදා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය.
ඒ අනුව ක්‍රීඩා ක්ෂේත්රය තුළ මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබාදීමට කටයුතු කරන ලෙස හඳුන්නෙත්ති මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලි සිටියි.
එමෙන්ම ක්‍රීඩා ක්ෂේත්රයේ වංචා දූෂණ සම්බන්ධයෙන් තමා සතුව තිබෙන ලිපි ලේඛනද එම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හඳුන්නෙත්ති මහතාගේ නිවේදනයේ දැක්වෙයි.