ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා විදේශ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මියට අසභ්‍ය වචනයෙන් බැණවැදී ඇත්නම් ඒ පිළිබඳව ලේකම්වරියගෙන් සමාව ගත යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහ කොමසාරිස්වරයාට පැවසූ බව ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග 'අද' පුවත්පතට පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පවසා ඇත්තේ පසුගියදා එංගලන්තයේ බර්මින්හැම් නගරයේදී අවසන් වූ බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂ වාර්ෂික මහා සභා රැස්වීමේ විදේශීය රාජ්‍ය නායකයන් සහ ලන්ඩනයේ විදේශීය තානාපතිවරුන් වෙනුවෙන් පැවති උත්සවයකදී නෝනිස් මහතා හමුවූ මොහොතේදීය.
එහිදී නෝනිස් මහතා සිදුවූවා යැයි කියන ගැටුම් සහගත සිද්ධිය සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට කරුණු පවසා තිබේ. වික්‍රමසිංහ මහතා එහිදී ඔහුට පවසා ඇත්තේ ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය රජයේ උසස් රාජ්‍යතාන්ත්‍රික නිලයක් දරන ගරු කටයුතු කෙනෙකු බවත්, විශේෂයෙන් ඇය කාන්තාවක් බවත්, මෙය මූලිකවම මෙම ගැටුම ආරම්භ වීමට හේතු පාදක වී ඇති බැවින් ප්‍රථමයෙන් තානාපතිවරයා ලේකම්වරියගෙන් සමාව ගත යුතු බවත්ය.
තවද කොන්සවේටිව් පක්ෂ සම්මේලනයට පැමිණි බොහෝ පිරිසක් ක්‍රිස් නෝනිස් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවද වික්‍රමසිංහ මහතාගේ එංගලන්ත සංචාරය සම්බන්ධීකරණ කටයුතු කරන මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනක අලහප්පෙරුම ලන්ඩන් සිට