කළු ගඟට ලවණ ජලය එකතුවීම වැළැක්වීම සඳහා මෝය කටට කිලෝමීටර් 4.5 ක් ඉහළට වන්නට ලවණ බාධකයක් ඉදි කිරීමට නියමිත බවත්,ඒ සඳහා රුපියල් බිලියන 03 ක පමණ මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම ලවණ බාධකය ඉදිකිරීමට නියමිත අතර,ඉදිකිරීමේ කටයුතු වසර 03කින් අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති රැස්වීමකදී මෙම උපදෙස් ලබා දී ඇති අමාත්‍යවරයා,කළු ගඟට ලවණ ජලය එකතු වීම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මීට පෙර යෝජනා කර තිබුණද එය අතරමග නතර වී තිබූ බවද පෙන්වා දී ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ කළුතර දිස්ත්‍රික්කය පුරා කෙත්හේන ජල සැපයුම් මධ්‍යස්ථානයෙන් ජලය ලබාගන්නා පාරිභෝගිකයන් සංඛ්‍යාව එක්ලක්ෂ 35,000 ක් පමණ වන බවයි.
මෙහිදී, ලවණ බාධකයක් නොමැතිවීම හේතුවෙන් සෑම වසරකදීම මාස 06 ක කාලයක් ජල පරිභෝගිකයන් 60,000කට අධික පිරිසක් ජල හිඟයකට මුහුණදෙන බව අනාවරණය වී ඇති බවත්, 2017 වසරේ පමණක් පළමු මාස 05 ක කාලය තුළ පමණක් ජනතාව ජල හිඟයකට මුහුණදුන් අතර, ජල සම්පාදන මණ්ඩලය බවුසර් මගින් ජලය බෙදාහැර ඇති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.