(VIDEO) බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් බවට පත්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට ජපාන මිට්සුබිෂි බැංකුව හරහා ණය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.
එය බැඳුම්කර වංචාවේ දෙවැනි කොටස බවද මන්ත්‍රීවරයා සඳහන් කළේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
“බැඳුම්කර වංචාවේ සැකකරුවන් වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්. තේරෙන භාෂාවෙන් කිව්වොත් බැඳුම්කර මාමා සහ බෑණා සිදු කළ තවත් දැවැන්ත වංචාවක් හෙළිදරව් කරන්නයි අපේ මේ සූදානම.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 32 ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 138ක ණය මුදලක් ජපානයේ ටෝකියෝ මිට්සුබිෂි බැංකුවෙන් ලබාගෙන තිබෙනවා. ණය ආපසු ගෙවීමට ලංකාණ්ඩුව අපොහොසත් වුවහොත් කියන පදනමින් එම ණය සඳහා බැංකුව රක්ෂණ ආවරණයක් ලබාගන්නවා. බොහෝ විට එම රක්ෂණ ගාස්තුව ගෙවන්නේ බැංකුවයි. අවදානම වැඩිවෙලා රක්ෂණ වාරිකය වැඩිනම් ඒක අදාළ රටටම ගෙවන්න කියනවා.
යුද්ධ කාලයේදී මෙම ගාස්තුව ණය මුදලෙන් 5-10%ක් වගේ ඉහළ අගයක් ගත්තා. නමුත් යුද්ධයෙන් පසු අවදානම අඩු නිසා රක්ෂණ ගාස්තුව 2-5% වගේ අගයක් ගත්තේ.නමුත් මෙම ණය මුදල සඳහා ගෙවිය යුතු රක්ෂණ ගාස්තුව 10%ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 14ක්. සහන පොලියට ජපානයෙන් ණයක් ලැබෙන බව කියමින් ජපාන කොන්ත්‍රාත්කරුවන්ට පමණයි ටෙන්ඩරයට අවස්ථාව දුන්නේ. ඒ නිසාම අසාමාන්‍ය ලෙස මාර්ගයේ පිරිවැයත් ඉහළ ගියා. නමුත් 2%ක් පමණ පොලී ගෙවන්න වෙනවයි කියපු මේ ණය මුදලට 10%ක රක්ෂණ ගාස්තුවක් ගෙවන්න වෙනවා නම් ඒ ණය තවදුරටත් සහන පදනමින් ලබාදෙන ණයක් වෙන්නේ නෑ.
මේ ණය ලබාදීමට ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළ ජපාන ටෝකියෝ මිට්සුබිෂිබැංකුවේ දේශීය නියෝජිතයා තමයි අපි හැමෝම දන්න අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශීය ණයක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. එහිදී ණය කොන්දේසි හිතකර නම් විතරයි මුදල් මණ්ඩලය අනුමත කරන්නේ. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිලෙස සභාපති ධුරය දරපු තැන.
නමුත් අර්ජුන් ඇලෝසියස් ගෙනා මේ රටට අහිතකර දැවැන්ත රක්ෂණ ගාස්තුවක් සහිත මේ ණය මුදල එයාගේ මාමණ්ඩි අර්ජුන් මහේන්ද්‍රන් සභාපතිකම දරන මුදල් මණ්ඩලය විසින් අනුමත කරනවා. මේක බෑනා නියෝජිතයා වෙලා ඉඳන් ගෙනාපු ණයක්ය කියන තමන්ට තියෙන බැඳියාවේ ගැටුම අර්ජුන්ලා දෙන්නාම හෙළිකරන්නේ නෑ. රටට රුපියල් කෝටි ගණනක දැවැන්ත පාඩුවක් සිදු කරමින් මේ ණය අනුමත වෙනවා.මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවැනි කොටස.පළමු කොටසේ ප්‍රධාන නළුවන් දෙදෙනාම මේකෙත් ඉන්නවා” යනුවෙන් කියා සිටියේය.
VIDEO