කසළ අක්රමවත්ව බැහැර කිරීම හා එයට විරෝධය දක්වන ජනතාව මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය දැඩිව හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ අද (21දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.
පසුගියදා නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වූ මීතොටමුල්ලට කසළ ගෙනවිත් දැමීමට ජනතා විරෝධය මැද පාලකයන් කටයුතු කළ අතර, මේ හේතුවෙන් ඒ ප්රදේශයේ ජීවත්වූ පිරිසකට මේ වනවිට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.
පාලකයන් සිදුකළ යුත්තේ ජනතාව මර්දනය කරමින් කසළ දැමීම සඳහා වෙනත් ස්ථාන සෙවීම නොව ජනතාව දැනුවත් කරමින් ජනතාවද හවුල් කරගනිමින් කසළ බැහැර කිරීම හා ප්රතිචක්රීයකරණය කිරීම සඳහා නිවැරදි ක්රමවේදයක් සැකසීම බව එම පෙරමුණ පෙන්වා දෙයි.
එමෙන්ම කසළ දැමීමට විරෝධය පළකළ දොම්පේ ප්රදේශයේ ජනතාවට ඊයේ (20දා) එල්ල කළ අමානුෂික ප්රහාරය හෙළාදකින බව එම පෙරමුණ වැඩිදුරටත් සඳහන් කළේය.