ලෝකයේ ඉතා දුර්ලභ මුහුදු ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් වන, මුහුදු ඌරන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, වසර දහයකට පසු කල්පිටිය කලපුවේ ඉප්පන්දූව ආසන්නයේ දී,සංචාරක යාත්රාකරුවෙකුට හමු වී තිබේ.
කල්පිටිය වන්නිමුන්දලම 'සමිත් පුතා' සංචාරක යාත්‍රාවේ වර්ණකුළසූරිය සමිත් ඉශාන් මල්ක ප්‍රනාන්දු (අවුරුදු 24 ) යන තරුණයාට මොවුන් හමුවී තිබේ.
මේ වනවිට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සහ මුහුදු ගවේෂකයන් රැසක්ම මුහුදු ඌරන් සොයා,කල්පිටිය සයුර සහ මුහුද පීරමින් සිටින පසුබිමක මෙම සොයා ගැනීම සිදුවීම විශේෂත්වයක් ගනී.
මේ පිළිබඳව සමිත් අප හා මෙලෙස අදහස් දැක්වූයේය.
" මම සංචාරක යාත්‍රාවෙන් සංචාරකයන් රැගෙන යෑමේ වෘතියේ නියැළෙන්නෙක්. මම නිතරම මුහුද දෙස විමර්ශනශීලීව බලනවා.
ඒ මගේ සේවය ලබන සංචාරකයන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන්නයි. ඩොල්පින් තල්මසුන් කල්පිටිය මුහුදේ දැන් සුලභ ජීවීන්. එවන් හැඟීමකින් මම මුහුද දෙස බලමින් යද්දී,ඉප්පන්දූව ආසන්න කලපුවේදී මම අහම්බෙන් මින් පෙර දැක නොතිබූ අමුතු ජල ජීවියෙකු දුටුවා.
වඩා විමසීමෙන් බැලීමේදී මට තේරුණා ඒ මුහුදු ඌරෙකු බව.මගේ සංචාරකයන්ටත් ඔවුන්ව පෙන්වමින්, ඔවුන්ගේ හැසිරීමට බාධාවක් නොවන පරිදි, පසු පසින් යාත්‍රා කළා.මීටර සියයක් පමණ යද්දී අපිට මුහුදු ඌරන් පස් දෙනෙකු දැකිය හැකි වුණා. මගේ වීඩියෝ සහ ඡායාරූප මගින් මේ බව සනාථ කළ හැකි වුණා*.
අප මේ පිළිබඳව සමුද්‍ර සම්පත් සංරක්ෂණ ආයතනයේ සමුද්‍ර ජීවී ගවේෂකයෙකු ලෙස කල්පිටිය සයුර හා කලපුව ආශ්‍රිතව මෙහෙයුම්වල නිරතවන්නෙකු වන සජිත් සුභාසන මහතාගෙන් විමසුවෙමු. එහිදී ඒ මහතා මේ පිළිබඳ මෙසේ පැවසූවේය.
"මේ වනවිට කල්පිටිය සයුර සහ කලපුව මුහුදු ඌරන් සොයන්නන්ගේ පර්යේෂණාගාරයක් කීවොත් එය වඩාත් නිවැරදියි. ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තුමේන්තුව,නාරා ආයාතනය,අයි යූ සී යූ ආයතනය (I.U.C.U.),කැස්බෑ සංරක්ෂණ සංගමය, බයර් %BEAR^ වැනි ආයතන රැසක්ම මේ සඳහා වෙහෙසෙනවා.
මීට වසර දයකට පෙර ශෝත්තු පිටිය වාඩිය කලපු ප්‍රදේශයේ මුහුදු ඌරෙකු ධීවරයන් දැක තිබුණා.ඊට අමතරව පසුගිය වසර කිහිපය පුරා මිය ගිය මුහුදු ඌරන් 15 කගේ මෘත දේහයන් හමුවී තිබෙනවා. ඉන් වඩාත්ම ඛේදවාචකය 2016 අගෝස්තු මස මන්නාරම් වාන්කල්වලදී ගැබිනි මුහුදු ඌරෙකු මියයාම සහ මෘත දේහය තුළ සිඟිති මුහුදු ඌරා බිහිවී ඒ තුළම මිය යා තිබීමයි.
මුහුදු ඌරා Dugong ලෙසත්. මොහු Sea Cow ලෙසත් හැඳින්වෙනවා. ඌ සමුද්‍රවාසී ක්ෂීරපායී සත්ත්වයෙක්.දිගින් මීටර තුනක් හෝ හතරක් වන මුහුදු ඌරෙකුගේ බර කිලෝ ග්‍රෑම් 500ක් 650ක් විය හැකියි. මොවුන්ගේ ආයු කාලය වසර 70ක් පමණ වෙනවා. මෙම නව සොයා ගැනීම මුහුදු ඌරන්ට ආදරය කරන ගවේෂකයන්ට සුභ ආරංචියක් වනු නොඅනුමානයි."
- කල්පිටිය - කුමාරි කොට්ටහච්චි