මුහුණ විකෘති වීම හේතුවෙන් තම මවගෙන් කිරි බීමට පවා නොහැකිව සිටි ළදරුවෙකුගේ මුහුණ සැත්කමකින් සාමාන්‍ය තත්ත්වයට පත්කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කරති.
ඇඹිලිපිටියේ මවුපිය දෙපළකට දාව අවු.1 වයස දරුවෙකුට උපතේදීම මෙසේ මුහුණේ විකෘතිතාවක් ඇති වී ඇති අතර, උපන් දා සිට කිරි බීමට නොහැකි ඔහුට සියලු ආහාර ලබාදී ඇත්තේ උදරයට යැවූ බටයක් ආධාරයෙනි.
මේ දරුවාගේ මුහුණ ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමේ අභියෝගය කරාපිටිය රෝහලේ මුඛ හනුක හා මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් භාරගෙන ඇති අතර, ඒ අනුව පසුගිය සිකුරාදා (29දා) අදාළ සැත්කම සිදුකෙරිණි.
දරුවාගේ මුහුණේ දකුණු පැත්තේ උඩ හනුව අර්ධ වශයෙන් දෙකට බෙදී තිබූ බවත්, වම් පැත්තේ උඩ හනු අස්ථිය එකිනෙක බද්ධ වී තිබූ බවත් වෛද්‍යවරු පවසති. ඔහුගේ වම් ඇහැත් කටත් අතර ඉඩක් නොතිබූ බවත්, දරුවාගේ එක් කනක්ද විකෘති ආකාරයෙන් පිහිටා තිබූ බවත් එම වෛද්‍යවරු සඳහන් කරති.
ශල්‍යකර්මය සිදුකළ මුඛ, හනුක හා මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී.කේ. ඩයස් මහතා පවසන්නේ සැත්කම මගින් මුහුණේ මෘදු පටක හා පේෂි යළි සකසා විකෘතිතාව සැකසූ බවයි.
සැත්කමින් පසු දරුවා කරාපිටිය රෝහළේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඉදිරියේදී ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට හැකිවන බවත් වෛද්‍යවරු සඳහන් කරති.
ශල්‍යකර්මය සඳහා පැය හයකට වැඩි කාලයක් ගතවී ඇති අතර, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය දරුවා ශල්‍යකර්මය සඳහා නිර්වින්දනය කළාය.
මුඛ හනුක හා මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, කරාපිටිය රෝහලේ ඊ සහ එෆ් ශල්‍යාගාර කාර්යමණ්ඩලය, ළමා දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය දරුවාගේ මුහුණ ප්‍රකෘති කිරීමේ කාර්යයේදී වෙහෙස වී කටයුතු කර ඇත.