ශ්‍රී ලංකාවේ රෝහලකදී ප්‍රථම වරට සිදුකරන පෙණහලු හා හදවත් බද්ධ කිරීමේ සැත්කම ලබන වසර අවසන් වීමට පෙර සිදුකිරීමට හැකිවනු ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මික රස්නායක මහතා පැවසීය.
එංගලන්තයේ නිව් කාසල් රෝහලේ මහාචාර්ය ස්ටිවන් ක්ලාක් මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම සැත්කම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පුහුණුව ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය රස්නායක මහතා,"මෙම සැත්කමට අවශ්‍ය අවයව ජීවතුන් අතර සිටින කිසිම කෙනෙකුගෙන් ලබාගන්න බැහැ. නමුත් අනතුරකින් පසුව මොළය අකර්මණ්‍ය වූ කෙනෙකුගේ හෝ එසේ නැත්නම් මොළය මිය ගිය රෝගියෙකුගේ අවයව මේ සැත්කම සඳහා ලබාගන්න පුළුවන්.
නමුත් රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත නැතිව රෝගියාගෙන් අවයව ලබා ගන්න බැහැ. රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ නිසා මේ අවයව ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව රෝගියාගේ ඥාතීන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහා විශේෂ පනත් කෙටුම් පතක් සකස් කිරීමට ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා කළා.
ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ස්ටීවන් ක්ලාක් මහතා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වුණා. එහිදී ශ්‍රී ලංකාවේදී මෙම සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පුහුණුව නොමිලේ ලබාදීමට මහාචාර්ය ස්ටීවන් මහතා කැමැත්ත පළකර තියනවා" යැයි පැවසීය.
ගාල්ල - රවිඳු දීයගහගේ