වසර දහස් ගණනක් පුරා ලොව සෑම ශිෂ්ටාචාරයකම සූර්ය වන්දනාව විවිධ මුහුණුවරින් සිදුවීම පෘථිවි තලයේ සකලවිධ ජීවීන්ගේ පැවැත්ම සූර්ය ශක්තිය මත පදනම් වන්නේය යන යථාර්ථය අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට කදිම සාක්ෂියකි.
කෘෂිකර්මය සහ ආගම එකට බැඳුණු ශිෂ්ටාචාරයක මිනිසුන් සෑමවිටම සොබාදහම සමග ගෞරවනීය සාධාරණ ගනුදෙනුවක යෙදුණු බවට ශ්‍රී ලාංකීය සංස්කෘතිය පැහැදිලි උදාහරණ සපයයි.
ගහකොළ මලින් බරවන භාග්‍යවන්ත බක්මහේ අස්වනු නෙළා අටුකොටු පුරවා ගත් ශ්‍රී ලාංකිකයෝ, ගතින් සිතින් පේවී සූර්ය වන්දනාවත් සමග නව අවුරුදු වසන්තය පිළිගැනීමට සූදානම් වූහ. එය ජීවන වෘත්තිය, ආගම, පරිසරය හා බැඳුණු මහ සැණකෙළියක සිරි ගත්තේය.
පොදු අරමුණක් වෙනුවෙන් සමස්ත ප්‍රජාවම ඒකරාශී වෙමින් සියලු දෙනාට සැපත, සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම ශ්‍රී ලාංකික අලුත් අවුරුදු උත්සවය තුළ දක්නට ඇති උතුම් ලක්ෂණයකි.
විශේෂයෙන්ම අප සංස්කෘතියට ආවේණික වැඩිහිටියන් නැමදීම, ඥාති හිත මිත්‍රාදීන් බැහැදකින්නට යාම ආදිය සමාජයේ ධූරාවලිය නැවත සිහිපත් කරදෙන සංහිඳියාව ජනිත කරන වැදගත් අවස්ථාවන්ය.
ගේදොර පරිසරය පිරිසිදු කර, නැවුම් වටපිටාවක් සකසාගැනීම පමණක් නොව පැරණි සිත් බිඳීම් අමතක කර පිරිසිදු සිතුවිලි ඇති කරගනිමින් අලුත් ආරම්භයකට පසුබිම සකසා ගැනීමට නව වසරේ අරමුණු කරගත යුතුය.
අප සියල්ලෝම සූර්ය දරුවන් ලෙස එකම මූලයකින් පැවැත එන්නන් බව, පසක් කරදෙමින් අන් සංස්කෘතීන්ට ගරු කරමින් ජීවත්වීම සිංහල හින්දු අලුත් අවුරුද්දේ ශ්‍රී ලාංකිකයන් ප්‍රකට කළ ආදර්ශයයි.
යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් සමගින් සිදුවූ වැරදි නිවැරදි කරගනිමින්, අප සිරිත් විරිත් හර පද්ධතීන්ට ජීවය දෙමින් අන් සිරිතට විරිතට ගරු කරන සෞභාග්‍යමත් නව අවුරුද්දක් සමරන්නට හැකි වේවායි සකල ශ්‍රී ලංකා වාසීන්ට සුභාශිංසනය කරමි.