ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක හිරොටෝ ඉසුමි මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී තිබේ.
ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන් මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ.
වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගීතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම්, සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්රවලදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් ඉහළ නැංවීමට ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
ජපාන රජයේ ආධාර ඇතිව සිදුකෙරෙන ත්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා නියෝජිත පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.