ශ්‍රී ලාංකේය පසුබිමක් සහිත කථා පුවතක් අනුව නිර්මාණය කෙරුණු 'කංඡායුධ' නම් පරිගණක ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දැවැන්තම භූමිකා නිරූපණ පරිගණක ක්‍රීඩාව බව ඩේලිමිරර් පුවත්පත පවසයි.
අපේ තරුණයන් 25 දෙනකුගේ නිර්මාණයක් වන මෙම පරිගණක ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන්නේ සිංහල භාෂාවෙන් පමණක් වීමද විශේෂත්වයකි.
ශ්‍රී ලාංකේය අපට අන්තර්ජාලයෙන් නොමිලයේ ඩවුන්ලෝඩ් කරගත හැකි පරිදි මුදාහැර තිබෙන මෙම අපූර්ව පරිගණ ක්‍රීඩාව නිර්මාණයට නායකත්වය දුන් චමීර ජයසිංහ බී.බී.සී.ය සමග අදහස් දක්වමින් පවසා සිටියේ සාමාන්‍ය චිත්‍රපටයක් තැනීමට යන වියදම දරමින් සිදුකළ දැවැන්ත නිර්මණයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.
කංඡායුධ පරිගණක ක්‍රීඩාව ඔවුන්ගේ සිතේ ඇඳි සිහිනයක් බව චමීර පවසයි. සම්පූර්ණ කණ්ඩායමක් එකතුවී සිදුකළ කාර්යයක් ලෙස සාමාජිකයන් 25ක්, ප්‍රධානතම සාමාජිකයන් 9 දෙනෙකු, මාස 06ක පමණ කාලයක් මෙම නිර්මාණය සිදුකළ බවද ඔහු පවසයි. මනංකල්පිත භද්‍ර නැමති චරිතය වටා ගොඩනැගුණු මෙම පරිගණක ක්‍රීඩාව ඔස්සේ සමාජයට පණුවඩයක් ලබාදීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
මෙවැනි නිර්මාණ කාර්යයකට අත ගැසීමට හේතුව ලෙස චමීර පවසන්නේ ශ්‍රී ලංකාවට වැඩ කිරීම සඳහා ඔවුන් සිත් තුළ වූ සිහිනයක් මල්ඵල ගැන්වීමකි. මීට පෙර ලෝකයේ විවිධ සේවාදායකයන් වෙනුවෙන් පරිගණක ක්‍රීඩා නිර්මාණ කාර්යයට අතගසා තිබූ ඔවුන්, ඒ තුළින් ලැබූ පන්නරය තුළින් සම්පූර්ණයෙන්ම අපේකමට දැනෙන පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කර ඇති බවද පවසයි. චමීර සඳහන් කරන්නේ මෙය අපේම වැඩ්ඩන් 9 දෙනෙකුගේ කාර්යයක් බවයි. එහිදී, ආටිෆිෂල් ඉන්ටලිජන්ට්, ප්‍රෝග්‍රෑමින් යන අංශයන්ගෙන් ලෝකයේ දැනට ඇති ඉහළම තාක්ෂණය කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබීමද විශේෂත්වයකි.
අපේම පරිගණක ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමට වැඩි දෙනා සිදුකළ ඉල්ලීම සලකා බලමින්, මේ සඳහා දැරූ වියදම්ද කැප කරමින් එය නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට ඔවුන් අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව, ඉදිරියේදී විදේශීය සේවාදායකයන් සමග එලැඹුණු ගිවිසුම් සමග මෙහි වියදම් පියවා ගැනීමද ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබේ.