ජාතික ආරක්ෂාව වෙනුවෙන් 2002 වසරේ සිට උතුරු දකුණු ගමනාගමන කටයුතු පරීක්ෂා කිරීම් සිදු කළ ඕමන්ත සීමා මුරපොළ අරාක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව පෙරේදා (2දා) දහවල් සිට සිවිල් ජනතාවට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගෙන ඇත.
යුද්ධය ආරම්භ වීමටත් පෙර සිටම ආරම්භ වූ ඕමන්ත සීමා මුර පොළ හරහා ගමන් ගත් සියලුම වාහන සහ පුද්ගලයන් සම්පූර්ණ පරික්ෂාවකට ලක් කල අතර මෙය හරහා රැගෙන යනු ලැබූ භාණ්ඩ වලටද නීති රීති පැනවීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් යුද්ධය අවසන් වීමෙන් පසුවද ඕමන්ත සීමා මුරපොළේ පරීක්ෂා කිරීම් කටයුතු සිදු වූ අතර පසුව2013 සැප්තම්බර් මස 01 දා වන්නි ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමන්ත සීමා මුරපොළේ නීති රීති හා පරීක්ෂා කිරීමේ කටයුතු මහජනතාව වෙනුවෙන් තරමක් ලිහිල් කෙරුණු අතර එහිදී සැක සහිත පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීම හා ලියාපදිංචි කිරීම සිදු විය.
මේ වන විට මුරපොළ හරහා සාමාන්‍ය වැසියන් හට කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව හා ලියාපදිංචියකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ඇති අතර පුපුරන ද්‍රව්‍ය රැගෙන යනු ඇතයි සැකය නිසා උතුරේ සිට ප්‍රවාහනය කරනු ලබන අබලි යකඩ පමණක් පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබ ඇත.