පසුගිය ආණ්ඩුව බැඳුම්කර නිකුත් කර තිබෙන ආකාරය සම්බන්ධව සත්‍ය කරුණු රටට ඉදිරිපත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය මහබැංකුවට ගොස් එහි උසස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (18දා) පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා සමග තමන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි , නියෝජ්‍ය අධිපතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන් හමුවී ඊයේ දිනයේදී මෙම සාකච්ඡාව පැවැත් වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වහාම මුදල් මණ්ඩලය රැස්කර මහබැංකුවේ වගකීම ඉෂ්ට කරන ලෙස එහිදී ඉල්ලා සිටි බවත්, ඒ අනුව අද දිනයේදී මුදල් මණ්ඩලය රැස්කර මේ පිළිබඳව සාකච්ඡා කරන බවට මහබැංකු අධිපතිවරයා පොරොන්දු වූ අතර, හෙට දිනයේදී මහබැංකුව නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.