පසුගිය 2016 අයවැය මගින් යෝජනා කළ පරිදි රුපියල් දසලක්ෂයේ රක්ෂණාවරණය ආපදාවට ලක්වුණු ජනතාවට මුදාහරින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද (05දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"මේ ජාතික ආපදා අවස්ථාවේදී රටේ ජනතාවට සහන සලසන්න පරිසර ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා රට හමුවේ ශක්තිමත් වැඩපිළිවෙළක් තියන්න. අරණායක සාමසර කන්දට සිදුවුණු දේ, සාලාව අවි ගබඩාවට සිදුවුණු දේ, කැලණි ගං මිටියාවතට සිදුවුණු දේ, මීතොටමුල්ල කුණු කන්දට සිදුවූ දේ, වර්තමාන ගංවතුර තත්ත්වය තුළ අවතැන් වූ පවුල් 7000ට උරුම කරන්න එපා කියන කාරුණික ඉල්ලීම කරනවා.
2016 අයවැයේදී ආසියාවේ හොඳම මුදල් ඇමති රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමා යෝජනා කළ ආකාරයට රුපියල් දසලක්ෂයේ රක්ෂණාවරණය වහාම ජනතාවට මුදාහරින්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා" යනුවෙන් පවසා සිටියේය.