පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණ මාලාව පවත්වන දිනයන් , ස්ථාන හා වේලාවන් සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හෙට (22දා) රැස්ව තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරීස් මහතා පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (21දා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුවට විරුද්ධව සිදුකරන මෙම උද්ඝෝෂණ මාලාව ජුනි මස මුලදී ආරම්භ කිරීමට නියමිත බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව එහි නායකයන් එක්ව ඊයේ (20දා) දිනයේදී පැය පහකට වඩා සාකච්ඡා කළ බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා වූ තීරණ ක්‍රියාත්මක කිරීමට සාමාජිකයන් සියලු දෙනා බැඳී සිටින බවත්,ඉදිරි මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතවීමට තම පක්ෂයට අවශ්‍ය නොවන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.